Friday, December 30, 2016

SLF-02 ලේ තිත්තයා

ලේ තිත්තයා
Cherry Barb
Puntius titteya

ඉතාමත් අලංකාර මත්ස්‍යයෙකු වන ලේ තිත්තයා ලංකාවේ කැළණි ගංගා ද්‍රෝණියේ සිට නිල්වලා ගංගා ද්‍රෝණිය දක්වා ව්‍යාප්තියක් පෙන්වයි. ලංකාවට ආවේනික මොහු සෙවනැති, මඩ හෝ කොළරොඩු සහිත පතුලක් ඇති සෙමෙන් ගලන දියපාරවල් වල ජීවත් වෙයි. නිමග්න ජලජ ශාක සහිත ප්‍රදේශ වලට වඩාත් ප්‍රිය කරයි.
දිගටි සිරුරක් සහිත ලේ තිත්තයා ඌර්ධව හනුක අංකුට(maxillary barbells) යුගලක් දරයි. Sri Lankan Freshwater Fishes ග්‍රන්ථයට අනුව මොවුන්ගේ වර්ණ ප්‍රභේද දෙකක් හඳුනාගෙන ඇත. "නියෝන්(Neon)" ප්‍රභේදයේ පෘෂ්ඨීය ප්‍රදේශය තද දුඹුරු පැහැති වන අතර පහලට යත්ම එය කහ පැහැයට හුරු වර්ණයකට හැරෙයි. මෙම නිසා  පෘෂ්ඨීය හා පාර්ශ්වික ප්‍රදේශ අතර ඇතිවූ තියුණු සීමාවක් දැකගත හැකියි. දේහයේ පූර්ව ප්‍රදේශයෙන් ඇරඹෙන තද දුඹුරු පැහැති තිරස් රේඛාවක් ඇස හරහා ගමන් කර පෞච්ඡ වරලේ මුල හරි මැදින් අවසන් වේ. කහ-රතු පැහැයක් සහිත විනිවිදපෙනෙන සුළු වරල් දරයි. ඇතැම් පිරිමි සතුන්ගේ පාර්ශ්විකව නිල් පැහැ දිස්නයක් දැකගත හැකියි. ගැහැනු සතුන් වර්ණයෙන් ලා පැහැති වේ.
   "රතුකැට(ruby)" ප්‍රභේදයේ පෘෂ්ඨීය පෙදෙස තද රතු පැහැයක් ගනියි. පාර්ශ්විකව දීප්තිමත් රතු පැහැයක්ද, උදරීයව වඩාත් ලා පැහැයක්ද පෙන්වයි. නියෝන් ප්‍රභේදය පෙන්වන තද පැහැ තිරස් රේඛාව මොවුන්ගේ දැකගත් නොහැකි වන අතර මොවුන්ගේ විනිවිද පෙනෙන සුළු වරල් දීප්තිමත් රතු-රෝස පැහැයකින් යුක්තයි. පිරිමින් හා සැසඳූ කල ගැහැනු සතුන්ගේ ශරීර වර්ණයේ දීප්තිමත් බවින් අඩුය.
සංවේදී මත්ස්‍යය විශේෂයක් වන මොවුනගේ පැවැත්මට ප්‍රධාන තර්ජනයක් වන්නේ වාසස්ථාන අහිමි වීමයි. මතු දවස උදෙසා මෙවැනි සුන්දර ජීවීන් රැකගැනීම අපගේ යුතුකමකි..!

Thursday, December 29, 2016

SLF-01 අහිරාවා

අහිරාවා
Common Spiny Loach
(Lepidocephalichthys thermalis)

වයිරන් අහිරාවා ඉහළ උන්නතාංශ වල හැර ලංකාව පුරාම වගේ පැතිරිලා ඉන්න මත්ස්‍යයෙක්. දිගටි සිරුරක් හිමි මොහුව ගංගා, ඇලදොළ, වගුරු, වැව්, කළපු වගේ පරිසර වලත් දූශිත නාගරික ඇළවල් සහ මුහුදට ඉතා ආසන්න ප්‍රදේශ වල පවා දැකගන්න පුලුවන්.

පෘෂ්ඨීයව කහ පැහැති සමේ පැතිරුණු තද දුඹුරු පැහැති පැල්ලම් වලිනුත්, පාර්ශ්විකව කහ-දුඹුරු සමේ පැතිරුණු තද දුඹුරු පුල්ලි වලිනුත් සමන්විතයි. පාර්ශ්වික පුල්ලි පේළියක, විශාල පුල්ලි 9-12 අතර සංඛ්‍යාවක් පිහිටයි. හිසේ පවතින පුල්ලි ඇඟේ පවතින අනෙකුත් පුල්ලි වලට වඩා කුඩයි. මේ පුල්ලි රටා සහ ශරීර වර්ණරටා එකිනෙකාගෙන් එකිනෙකාට තරමක් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම මොවුන්ගේ අංශ රේඛාව දැකිගත නොහැකියි. අංකුට යුගල තුනක් දරයි. පෞච්ඡ වරලේ මුල කලු තිතක් ඇති අතර පෘෂ්ඨීය සහ ළය වරල් කහ පැහැතියි, විනිවිද පෙනෙයි, තද දුඹුරු පැහැති පුල්ලි දැකිය හැකියි. පෞච්ඡ වරලෙහි ඊහිස් හැඩැති වර්ණවත් සිරස් තීරු 4-6ත් අතර සංඛ්‍යාවක් දැකගත හැකියි. ඇතැමුන්ගේ මෙම තීරු වක්‍රාකාර ස්වරූපයෙන් පැවතිය හැකියි. ශ්‍රෝණි සහ ගුද වරල්  ලා කහ පැහැති වර්ණයක් ගනියි. පාරදෘශ්‍ය වේ. වර්ණයෙන් වඩාත් තද පැහැති පිරිමි සතුන් සාපේක්ෂව සිහින්දැරි වේ.  වර්ණයෙන් ලා පැහැති ගැහැනු සතුන් විශාල උදරය දරයි.හොඳින් වර්ධනය වූ අහිරාවෙක් 5cm පමණ විශාල විය හැකියි.

අනාගත දිනපොතෙන් පිටුවක්

"පුතාලා දන්නවද මේ මාළුවා කවුද කියලා?"
"ඔය තරම් ලස්සන! ඌ රට එකෙක් නේද සීයේ?"
"ඇයි පුතේ පිටරට දේවල් විතරද ලස්සන? අපේ රටේ ලස්සන දේවල් නැද්ද? "
"කෝ සීයේ අපේ රටේ ලස්සන දේකට කියල තියෙන්නේ මුහුද විතරයිනේ...ඒත් ඒක ළඟට යන්නත් බයයි. තාත්තා කිව්වා ඉස්සර නම් බයවෙන්න දෙයක් නෑලු. වෙරළ ද මොකද්ද එකක් තිබ්බ නිසා ගිලෙන්නෙ නැතුව මුහුදේ වතුර උඩ උඩ පනින්නත් පුලුවන්ලු. දැන්නම් මුහුදෙ වතුර අල්ලන්වත් ඉඩක් නැහැනේ. මූදුවැටේ සං..රක්..සන.. ද මොකද්ද කියලා බෝඩ් ගහලත් තිබ්බා"
"ඒකත් ඇත්ත නෙවෙද,, මට අමතක උනානේ මාත් දැන් අසූවක අනූවක සීය කෙනෙක් කියලා"
"ඔය මාලුවා පුතේ... දැනට අවුරුදු හැට හැත්තෑවකට කලින් මේ අපේ රටේ හිටපු එකෙක්. උගේ නම් කියවන්න බලන්න?"
"බූ..ලාත් හා..ප..යා....ඇයි ඉතින් සීයේ මෙතන නිකන් වීඩියෝ එකක් විතරක් තියෙන්නේ... ඌට මොකද උනේ"
" ගෙදර යද්දි ඒ කතාව කියන්නම්කෝ පුතාලට. දැන් මේ සිංහරාජ පාක් එකේ ඉතුරු ටික බලමුකෝ.."

දෙයියනේ....මේ අවුරුදු ටිකට මේ දේවල් කොයිතරම් වෙනස් වෙලාද? හොර ගහකින් ලැබෙන සිසිලස, මහ නුගයක් දැක්කම ඇතිවෙන ගැඹුරු හැඟීම,,, අපේ දරුවන් කොහොම මේ වීඩියෝ වලින් ලබාගන්නද? ඉතුරු වෙලා තියෙන අපේ ගස් ටික බලන්නත් වෙනම අවසරයක් ඕනෙලු..! දුලාජ්ටවත් කියලා බලන්න ඕනෙ ඒ ගැන. මේ හැමතැනම තියෙන වැඩකට නැති රට ගස් පෙන්න පෙන්න මේ ළමයින්ට මොනවා නම් කියන්නද?

"සීයේ ඔන්න ඔන්න අද අපේ ගෙදර යන්න එන්න ඕනි..අනේ! අනේ! අනේ!"
"ඔව් සීයේ අද නම් ඔන්න සීයා බැහැ කියන්න බැහැ. අර හපයා ෆිෂ් ගැන කියන්නත් ඕනේ."

"පුතේ, උගේ නම් බුලත් හපයා.අපිට කොළඹට යනකන් පැය භාගයක්ම තියනවානේ. මම ඒ ටිකේ ඌ ගැන කියන්නම් තාත්තයි අම්මයි මෙහෙ නැති කොට මමත් ගියහම ආයම්මට කරදරයිනේ. මම තාත්තලා ලංකාවට ආවහම එන්නම්කෝ දවස් දෙක තුනක් ඉඳලා යන්නම."

"ඉතින් පුතේ අපි පොඩි කාලේ නම් ඔය බුලත් හපයෝ ඕන තරම් අපේ ගමේ ගොඩේ ඇළවල් වල හිටියා. පුංචි කාලෙ අපි උන්ට කෑම දානවා. උන් එක්ක සෙල්ලම් කරනවා. ඒත් සමහර මිනිස්සු සල්ලි හොයන්න ක්‍රම නැතුව වගේ බුලත් හපයන්ව අල්ල අල්ල පිටරට යැව්වා. ටික කාලයක් යද්දි තමයි අපේ අයට තේරුණේ මුන් එකෙක්වත් ඉතුරු වෙන්නෙ නැති වෙන්න ඔක්කොම රට යවන්නයි මේ අයගේ සැළසුම කියලා. මොකද ඒ අයට ඕනි සල්ලි විතරයි. ඉතින් සොබාදහමට ආදරේ කරනහොඳ මිනිස්සු ටිකක් එකතු වෙලා නීතියක් සකස් කලා මේ වගේ ලස්සන මාලුන්ව අල්ලන්නවත් රට යවන්නවත් බැරි විදිහට. ටික දවසක් ඔය නීතිය තිබ්බත් කුඩයක් තියන අයට නීතිය වැස්සක් විතරක් වුණා. ඒ වැස්සෙන් තෙමුණෙ අපේ දේ අගයන්න,ඒ දේ රැකගන්න දඟලන අහින්සක මිනිස්සු විතරයි. හැබැයි මහා පරිමාණෙන් වෙච්චි වැඩේ නතර වුන නිසා බුලත් හපයා වගේ අයගේ ගහනය ආයෙත් වැඩි වේගෙන ආවා. ඒත් ඒක වැඩි කළක් එහෙම ගියේ නැහැ. පුතේ,,

ඉස්සර අවම සුදුසුකමින් යන්න පුලුවන් රැකියාව තමයි අපේ රට පාලනය කරන එක. ඉතින් රට පාලනය කරන්න ගිහින් හිටියේ හරිම බුද්ධිමත් අය. ඒත් එක්කම දැන් ඔයාල ඉගෙනගන්න විදිහට නෙමෙයි ඒ කාලේ ඉගෙනගත්තේ. සීයලගේ කාලේ මුලින්ම ඉගැනගත්තේ බලේට, ඊට පස්සේ ආසාවට, ඊට පස්සේ කරන්න දෙයක් නැති කමට. මොකද ඒ කාලේ ඉස්කෝල වලින් ගොඩක් වෙලාවට දුන්නේ  පොතේ පතේ දැනුම විතරයි. මනසට දෙයක් දුන්නේ හරි අඩුවෙන්. ඒ නිසාම උගත්තු හිටියත්, සොබාදහම ගැන, අපේ රට් ගැන හැඟීම් දැනීම් තියෙන අය හිටියේ අතලොස්සයි.

ඉතින් ඔහොම කාලෙ ගතවෙද්දි මිනිස්සු පරිසරය විනාශ කරන්න ගත්තා. හැම ඇළ පාරක්ම දොළක්ම පෞද්ගලික විදුලිබලාගාර කරන්න හැදුවා. මිනිස්සු ඇළ දොල වලට කෘමිනාශක වගේ රසායන ද්‍රව්‍යත්, කර්මාන්තශාලා වල අපද්‍රව්‍යයත් මුදාහරින්න ගත්තා. ව්‍යවස්ථාවත්, විධායකයත්,නීතියත් සල්ලි වලින් වැහිලා ගියා . මේවායින් බුලත් හපයා වගේ මාළුන්ව බේරගන්න ගිය අයටත් අන්තිමට උරුමවුනේ හිර කූඩුව නැත්නම්, සොහොන් පිට්ටනිය. නීති වෙනස් උනෙත් නැහැ. පරිසරය රැකගත්තෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි අනිත් රටවල මිනිස්සුන්ගෙ වැඩ නිසා ලෝකෙම වෙනස් වුනා. දේශගුණික තත්ව වෙනස් වුනා. දිග නියංකාල ආවා. මාළු ගැන තියා ගස් කොළන් වලට මේවයින් වන හානියවත් කවුරුත් හොයලා බැලුවේ නැහැ. හිත හොඳින් උනත් පරිසරවේදීන ස්ථානීය සංරක්ෂණය ගැනම විතරක් හිත හිත ඉද්දී මාළු ඉන්න තැන් ටික ඉන්න නුසුදුසු තත්වෙට පත් වෙලා, මාළු ටික මැරිලා ගියා. අන්තිම ඉතුරුවුන සිංහරාජෙත් හෙක්ටයාර් දහයක පහළොවක පාක් එකක් වුණා. ඉතින් පුතේ බුලත් හපයා අපිට නැති වුනේ ඔන්න ඔහොමයි. ඌ විතරක් නෙමෙයි පුතලා පාක් එකේදී වීඩියෝ ඇනිමේශන් වලින් දැක්ක තල්කොස්සා, රතු තිත්තයා, බන්දුල පෙතියා වගේ සංවේදී මළු ගොඩක් අපිට දැන් අහිමි වෙලා. "

"පුතාලාත් හොඳට ඉගෙනගෙන රට යන්න. එහේ ඉන්නවාලු අපේ රටෙන් නැති වෙලා ගිය මාළු. පුතාලට එහෙදි
එයාලව අල්ලන්න විතරක් නෙමෙයි ඇති කරන්නම පුලුවන් වේවි. අපි මෙහෙදි රට මාලු ඇතිකරනවා වගේ."

"හැබැයි මතක තියාගන්න. රට හිටියට ඒ අපේ මාළු. උන්ගේ ලස්සන ගැන් පුතාලට ආඩම්බර හිතේවි. උන්ව රැකගන්න බැරිවුනාට සීයලට සමාව දෙන්න පුතේ. සීයාලාගේ උත්සාහය පාලකයෝ සල්ලි වලට යටකරලා පාවලාදුන්නා..

දුලබ ජයන්තියා සොයා...03

මේ කතාව මෙච්චර දිගට ලියලා ජයන්තියා කියලා ඉකෝට නමකුත් හැදේවිද දන්නේ නැහැ. ඒත් ඉකෝ දන්නවා මේ ලිපිය මේ තරම් සවිස්තරාත්මක කරන එකෙන් කාටහරි ප්‍රයෝජනයක් වේවි කියලා. ඉකෝ "දුලබ ජයන්තියා සොයා" ලියන්නේ ඒ අය වෙනුවෙන්...

වාසනාවකට වගේ මට මුණගැහිලා තියෙන්නේ ප්‍රජා මූල පරිසර සංවිධානයේ ලේකම්තුමා, චතුර අයියාව. ඉකෝ ඇත්තටම ආවේ හොඳ චේතනාවකින් කියලා තේරුම් ගියාට පස්සේ චතුර අයියා ඉකෝට ගොඩක් උපකාර කලා. ජයන්තියා ගැන වැඩිදුර විස්තර ඉකෝට දැනගන්න පුලුවන්වුනෙත් චතුර අයියාගෙන්. නිර්ව්‍යාජ ගැමි සංස්කෘතිය තවමත් ශේෂ වී ඇතී ඒ ප්‍රදේශයේ දී ඉකෝට තේ කෝප්පෙකුත් වැරදුනේ නැහැ. එකත් සප්පායම් වෙන ගමන් ඉකෝ චතුර අයියත් එක්ක ගොඩක් විස්තර කතා කළා. එයාලගේ දැන් බලාපොරොත්තුව මේ ප්‍රදේශය සොබා සංචාරක කලාපයක් ලෙස දියුණු කරන්නයි. මොකද ඒ අවට ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් වගේම ඓතිහාසික වශයෙනුත් ලොකු වටිනාකමක් තියෙන ප්‍රදේශයක්.
කූරන් විශේෂ 18ක් ,සමනළයන් විශේෂ 47ක් ,මත්ස්‍යය විශේෂ 14ක් , උභයජීවීන් විශේෂ 12ක් ,උරඟයින් විශේෂ 25 ,පක්ෂි විශේෂ 77ක් සහ ක්ෂීරපායීන් විශේෂ 21ක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඉනුත් විශේෂ 35ක් ලංකාවට ආවේනිකයි. තවද මහ හැඩයා, වන රාජ වැනි දුර්ලභ පැළෑටිත් සල්ගල අවට වනාන්තර වලින් වාර්තා වනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රාග්ඓතිහාසික දොරවක  ලෙන, ප්‍රාග්ඓතිහාසික අලවල  ලෙන, දැදිගම කොටවෙහෙර තියෙන්නෙත් ගලපිටමඩ අවටමයි.
සංවේදී කාරියක් නිසා හිදැස් නොතියාම ඉතා විධිමත් ලෙස මෙම කටයුත්ත සිදුකිරීමටයි ඔවුන්ගේ සූදානම. ඒ නිසා ඉදිරියේදි ප්‍රදේශයේ අහිංසක ජනතාවට  වගේම බන්දුල පෙතියාටත් වඩා යහපත් කාලයක් ඒවි කියලා හිතන්න පුලුවන්.  කතාවත් එක්කම චතුර අයියා කර කර හිටපු වැඩේ අහවර වුනාට පස්සේ අපි ඉකෝ ආපු අරමුණ ඉටුකරගන්න පිටත් වුනා. නිවසට ගොඩවුන පාරෙන්ම ආපහු පහලට බැස්ස අපි තොරතුරු  මධ්‍යස්ථානය නැත්නම් අයියාගේ වචනවලින්ම කිව්වොත් සෙන්ටර් එකත් පහු කරගෙන ගුරු පාර දිගේ ඉස්සරහට ගියා. රබර් ගස් පාමුළ යටි වගාවක් හොඳට වැවිලා තිබ්බේ කැකිල්ල වගේ මීවන පඳුරු. ගස් ගල් දිගේ ගිය පෝටා වැල් ඕකෙයිය පඳුරුත් යහමින්න තිබ්බා. දිවා හිරු රැස් මුවාකළ රබර් වියන ඉක්මවපු අපිට ඊළඟට හමු වුනේ පොඩි කුඹුරු යායක්. යායේ මැද්දෙන් යන පාරට උඩහින් ඉහළ ලියැද්දේ කෙළවර පැත්තෙන් ගලාගෙන එන දොළපාර බෝක්කුව යටින් ගිහින් පාරට පහළ ලියැද්ද අයිනෙන් ගලාගෙන යන්නේ පුදුමාකාර සුන්දරත්වයක් මවාපාමින්. පාරෙන් පහළට බැස්ස අපිට ඊළඟට සිසිලස සැපයූවේ දොළ අයිනේ සිටි මහා කුඹුක් රාජයෙක්. බැලූ බැල්මට නාන තොටක් වගේ පෙණුනු එතැන ගල් කැට වලින් හදපු පොඩි බැම්මක් නිසා උඩහින් එන වතුර බේසමක වගේ එකතුවෙලා තිබුණා.
"ඔන්න මල්ලි හොයපු තැනට ආවා. මෙතනත් ජෝඩු දෙක තුනක් හිටියා මතකයි. බලන්න අඳුනගන්න පුලුවන්ද කියලා?"
කුඹුක් හෙවණේ ගලක් උඩ ඉඳගත්තු ඉකෝගේ, ඇස් වේගයෙන් කුඹුක් මුල් අතර ඒ මේ අත දිව්වා.
"හරි,, අර ඉන්නේ!! අර කලුපාට ඉරිදෙකක් තියන මාළුවා නේද?"
"ඔව්,,, ඔය එහා පැත්තේ තවත් ඇති."
ඇත්තටම ඉකෝ පිංතූර වලින් දැක්කටත් වඩා ගොඩක් ලස්සන මාළුවෙක් තමයි ජයන්තියා කියන්නේ. ඉකෝ දැක්ක ලොකුම මාළුවා නම් අඟල් එක හමාරක් විතර දිගයි. ඒත් මූලාශ්‍ර වල තියෙන විදිහට නම් අඟල් හතරක් පමණ වෙනකන් මෙයාට උපරිම විශාල වෙන්න පුලුවන්ලු.  දේහයේ සිරස් අතට තියෙන කලු පැහැති රේඛා දෙකෙන්, රත් පැහැ වලිග වරලෙන සහ ඇතැම්විට අසම්පූර්ණ ලෙස පිහිටි අන්වායාම රේඛාවකින් බන්දුල පෙතියාව වෙන්කරලා අදුරගන්න පුලුවන්. මෙයාලගේ පැටවු නම් බැලූ බැල්මට ටයිගර් බාබ්ස්ලා වගේ. කෙටල අතිඋඩයන් වැනි ශාක මෙයාලගේ පැවැත්මට වගේම ප්‍රජනනයට ගොඩක් වැදගත් බව චතුර අයියගෙන් දැනගන්න ලැබුනා. කෙටල විශේෂ  විද්‍යාත්මකව "Lagenandra  spp"ලෙසත් අතිඋඩයන් විශේෂ "Cryptocoryne spp"ලෙසත් හඳුන්වනවා. මේ ශාක දෙකෙත් ඇතැම් විශේෂ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති බව ඉකෝට අහන්න ලැබුනා.
 
සත්ව ලෝකයේ වැඩිපුර ලස්සන පිරිමි සතාලුනේ. ජයන්තියටත් ඒ දේම  පොදුයි. ප්‍රජනක සමය ලංවෙත්ම බන්දුල පෙතියාගෙ පිරිමිසතාගේ ශරීර වර්ණය ගොඩක් වැඩි වෙනවා. එතකොට නම් ගැහැනු සතාව ළඟින් තියන්නවත් බැහැ. ඉකෝට බනින්න නම් එපා. ඔයාලත් දැක්කොත් ඕකම කියාවි.
ඉකෝ පැහැදිලිවම කියන්න ඕනි ජයන්තියා මේ ප්‍රදේශයේ ධජයධාරී විශේෂය වුවත් තවත් මත්ස්‍ය විශේෂ රාශියක් මේ පරිසර පද්ධතිය තුල දැකගන්න පුලුවන්. උදේම ආවොත් වළිකුකුළා, කළු වඳුරා වැනි සත්තුත් දැකගන්න පුලුවන් කියලා චතුර අයිය කිව්ව. 

ඔහොම්මම දියපාර දිගේ ඉස්සරහට යද්දි ඒක දකුණට හැරිලා වෙළ මැද්දෙන් ගමන් කරනවා. එතනත් බන්දුල පෙතියෝ විශාල ප්‍රමාණයක් දැකගන්න පුලුවන්. එතනදි නම් චායාරූප ගන්න අයට කරදරයක් නැතිව ඒ වැඩේ කරගන්න පුලුවන්. දවල්රුවක යනවනම් ඉර එලිය නිල්  කැටේ වගේ වතුර ටික විනිවිද යන නිසා පහසුවෙන් සහ පැහැදිලිව මේ මත්ස්‍යයින්ව නිරීක්ෂණය කරන්න පුලුවන්. බාබ්ස් විශේෂ වල  අනන්‍යතාව පෙන්නමින් බන්දුල පෙතියා විටින් විට දොළ පත්ල පිරික්සමින් අහාර සොයන අයුරු බලන්න ලස්සනයි. බොහෝ වෙලාවට මේ අය තනියම හරි එහෙම නැත්නම් දෙතුන්දෙනා  කුඩා රංචු වශයෙන් තමයි හැසිරෙන්නේ. කොච්චර බලන් හිටියත් ඇතිවීමක් නැහැ. ඔහොම ගොඩක් වෙලා කට්ට අව්වේ ඉඳගෙන ඇළ දිහා බලන්හිටිය ඉකෝට දැන් යන්න වෙලාව හරි කියලා තේරුණා. මොකද පැයක් විතර චතුර අයියත් එතන.වැඩ ඔක්කොම දාලා මට උදව්වක් විදිහට එයත් ආවෙ. ඉතින් ආපහු නියර දිගේ ගිහින් පාරට ගොඩවුන ඉකෝ චතුර අයියගෙනුත් සමුගෙන ඒ පාර දිගේම ඉස්සරහට ගියේ ඒ පාර කෙලින්ම ගලපිටමඩ හන්දියට වැටෙනබව චතුර අයියා කියපු නිසා. ටිකක් දුර පාරක් වුනත් පරිසරය නම් බලන්න ලස්සනයි. වෙල් යායවල් කඳු පල්ලම් පහු කරගෙන කෙලින්ම යන ඒ පාර අන්තිමට වැටෙන්නෙ ගලපිටමඩ රුවන්වැල්ල පාරට එතනින් වමට හැරිලා ටිකක් ඉස්සරහට ගියහම ගලපිටමඩ නිට්ටඹුව පාර වැටෙන තුංමන්හන්දිය හමුවෙනවා. බස් එකක් කීයට ඒවිද නොදන්න නිසා ඉකෝ දිගටම බස්ස්ටෑන්ඩ් එකට ගිහින් බස් එකක් අල්ලගත්තා.

ඔන්න ඔහොමයි ඉකෝ ජයන්තියා සොයා ගිය චාරිකාව අවසන් වුනේ. දෙයක් දැනගත්තු ,ලබාගත්තු කෙනෙක් කොමෙන්ටුවකුත් කොටලම ගියොත් ඉකෝට ගොඩක් සතුටුයි.

Thursday, August 11, 2016

දුලබ ජයන්තියා සොයා...02

නැහැ නැහැ. වැරදෙන්න විදිහක් නැහැ. කිව්ව විදිහේ තුම්මංහන්දියක් තාම හම්බුනේ නැහැ නේ. ඉකෝ තවත් ඉස්සරහට ගියා. ඉස්සරහින් තවත් නිල්ම නිල්පාට වෙල් යායක්. බත්කූරෙකුත් රූංගාලා කණ ළඟින් පියෑඹුවා..ගුරු පාර වෙළ මැද්දෙන් ගිහින් කෙළවරේදි දෙකට බෙදෙනවා. කෙළවරේ ඔන්න බෝඩ් එකකුත් පේනවා. පේන හැටියට නම් ආපු පාර හරි වගේ.  හරි,මේ තමයි තැන. මේ තියෙනර කියපු බෝඩ් එක. ඉකෝට පුදුම සතුටක් දැනුනේ. එතනම නිල් කැටේ වගේ වතුර තියන චූටි දොළ පාරක්. සණසෙ නැන්දා කියපු විදිහට පහළ පාරේ එහෙම නැත්නම් වම් අත පැත්තෙ පාරෙ ලංගම බස් එකක් නවත්තලා තිබ්බා. ඉකෝ ඉතින් ඩ්‍රයිවර් උන්නැහේට කතා කරලා විස්තර ඇහුවා.
දිගටම ඉස්සරහට යන්න කිව්ව නිසා ගියත් පොඩි අඩි පාරක් වගේ තියෙන්නේ. කැලේ වැවිලා තිබ්බත් කොන්ක්‍රීට් කරපු පාරක් ඒක. කැලේ පාරක් මොකටද කොන්ක්‍රීට් කරලා තියෙන්නේ? මේක හරි පාර ම වෙන්න ඕන. උඩහට පාරක් තිබ්බත් ඒකෙ ගියේ නැත්තේ ඒ නිසයි.  ඔහොම යද්දි ඉස්සරහා පාරට මහා තඩි පර්වතයක් තල්ලු වෙලා ඇවිත් පාර කැඩිලා, කොන්ක්‍රීට් කුඩේ කුඩු. එහෙම දෙයක් ඉකෝ දැක්කාමයි. ඕවා උඩිනුත් පැන පැන යද්දී ඉකෝ දැක්කා තවත් අර වගේම බෝඩ් එකක්. ඒත් එක්කම අලුත හදපු ගොඩනැගිල්ලක්. ඉකෝට කොමියුනිකේශන් එකේ නැන්දාව මතක් වුනා. එහෙනම් තැන හරි.  "හපුගොඩ, අල්පිටිය, රබ්බිඩිගල ප්‍රජා මූල පරිසර සංවිධානය, බන්දුල පෙතියා සංරක්ෂණය මධ්‍යස්ථානය" ඔන්න ඉකෝ ජයන්තියා ළඟටම ඇවිත්. රබර් වත්ත මැද  සීතල නිසා ආපු ගමන් විඩාවත් නැතිවුනා. කන්ද පහළ වෙළත් එක්කම තියන ඇලේ වෙන්න ඕනෙ ඔය කියන මාළුවා ඉන්නේ. පහළට බහින්න පැහැදිලි පාරකුත් නැහැ. අනික අර මාළුවා ඉන්නේ හරියටම කොහෙද දන්නෙත් නැහැනේ. ඉතින් ඉකෝ හිතුවා ගමේ කෙනෙක්ගේ සහය ගත්තොත් හොඳයි කියලා. ආපු පාරෙම ආපහු යද්දි කන්ද උඩ ගෙදරකට පාරක් තියනවා. ළඟපාත වෙන මිනිස් පුලුටක් නොපෙනුන නිසා ඉකෝ කන්දත් නැගගෙන උඩහට ගියා. ඔය ගියේ අර පල්ලෙහාට ඇවිත් තිබුණු ගලට උඩහින්. ඒක ලස්සන තැනක තිබුණ ලස්සන ගෙයක්. වෙල්යායට මුහුණලා කඳු ගැටයක් උඩ තිබුණු නිසා වට පිටාව හොඳට පේනවා. ඉකෝ මිදුලට යද්දි යද්දි ඉකෝට වඩාවැඩි වයසක් නැති අයියා කෙනෙක්  ගෙදර ඉස්තෝප්පුවේ පොහොර වගයක් කළවම් කරකර ඉන්නවා. ඉකෝ කළින් ඉඳලාම දැනගෙන හිටියේ ගමෙන් ඒ තරම් ම හොඳ පිළිගැනීමක් නොලැබෙයි කියලා. මොකද බොහොමයක් ආගන්තුකයින් මේ මාළුවාව හොයාගෙන ගමට එන්නේ එච්චර හොඳ අරමුණකින් නෙමෙයි. කලාතුරකින් එන පරිසරවේදියෙක් වගේ කෙනෙක් හැරුණුකොට ගොඩක් වෙලාවට දුර්ලබ සත්තු විකුණගෙන කන එකෙක් හරි, පෞද්ගලික එකතුවලට දුර්ලබ ජීවීන් හොයාගෙන යන එකෙක්වගේ පටු අදහස් වලින් යුක්ත අය තමයි එන්නේ. ඉතින් ගමේ මිනිස්සු ආගන්තුකයෙක් ගැන සැකෙන් බලන එක අහන්න දෙයක් යැ.
හැබැයි ඒ මිනිස්සුන්ට ස්තූති කරන්න ඕනි මෙච්චර කාලයක් ලංකාවෙ මිනිස්සුන්ගෙන් ජයන්තියාව රැකගත්තට. ගමේ මිනිස්සු නොහිටින්න ඔහොම එකෙක් ඉන්නවා කියලා දැනගත්තු ගමන් අපේ මිනිස්සු ඌව රටපටවන්න ප්ලෑන් ගහලත් ඉවරයි. දොළ පාර කණපිට ගහලාහරි උන් ඔක්කොම අල්ලගෙන යන්න අය එයි හතු පිපෙනවා වගේ.
කොහොමහරි ඉකෝට හිතුව තරම් වැඩේ නරක් වුනේ නැහැ. හැබැයි හරියට හඳුන්වලාදෙනකම් සැකෙන් වගේ තමයි කතා කලේ. අඳුන ගත්තට පස්සේ නම් ඉතින් ඉකෝ අහන්න තියෙන ඔකෝම ප්‍රශ්න ටික අහගත්තා. මේ මාළුවා අඳුනගෙන තියෙන කතාවත් හරි අපූරු එකක්. මේ ගම් වල ඉන්න මාළු අල්ලලා විකුණන කෙනෙක් ඉඳලා බන්දුල කියලා. ඉතින් මේ කෙනා විකුණපු ජයන්තියෙක් ලංකාවේ ප්‍රසිද්ධ පරිසරවේදියෙක් සහ ස්වභාධර්ම විද්‍යාඥයෙක් වන රොහාන් පෙතියාගොඩ මහත්මයාට හම්බෙලා තියනවා. බලද්දි ලංකාවෙන් මේ වගේ පෙතියෝ විශේෂයක් මීට කලින් වාර්තා වෙලා නැහැ. ඉතින් ඒගැන වැඩිදුර හොයලා බලලා අධ්‍යයනය කරලා තමයි අර බන්දුල කියන පුද්ගලයාගෙ නමත් ඈඳගෙන මේ නව මත්ස්‍යය විශේෂය  බන්දුල පෙතියා කියලා නම්කරලා තියෙන්නේ. මෙයාව හොයාගත්ත වර්ෂය හැටියට සඳහන් වෙන්නේ 1991 දීයි. මෙතුවක් කාලෙකට බන්දුල පෙතියා ස්වාභාවිකව වාර්තාවෙලා තියෙන්නේ ගලපිටමඩ තියෙන හපුගොඩ,රබ්බිඩිගල සහ අල්පිටිය කියන ගම්මාන තුන හරහා ගමන් කරන 2.5km පමණ දිග දිය පහරකින් පමණයි. ඒ නිසාම ජයන්තියා අයත් වෙන්නේ ස්ථානීය ආවේනික(spot-endermic) කියලා ප්‍රවර්ගයකටයි. ඉකෝ ජයන්තියාව මුණගැහුණු හැටි ඊළඟ කොටසෙන් කියන්නම්කෝ...

Wednesday, August 10, 2016

දුලබ ජයන්තියා සොයා... 01

නිවාඩු කාලෙත් ආවනේ. ඉකෝට නම් ඉතින් ටියුසන් කැලෑසි එක්ක මොන නිවාඩුද? කොහොමහරි අහම්බෙන් වගේ වේගෙන් උදේ වරුවෙ වැඩ ටික ඉවර කරගත්තු දවසක හිතුවා වෙනසකටත් එක්ක කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන හිටිය ගමනක් යන්න. සල්ලි ටිකකුත් අතේ ගැවසුන නිසා ඉකෝ යන්න පිටත් වුනා. සැ.යු.-100ක් දෙසීයක් කියන්නෙත් ඉකෝට ලොකු ගානක් හරිද. ඉකෝ තාම ස්වාධීන නැහැනේ.
ඉතින් ඉර මුදුන් වෙන්න කිට්ටුව තමයි ඉකෝ තමන්ගේ අඩවියෙන් පිටත් වුනේ. තාම කිව්වේ නැහැනේ යන දිහා. ඉකෝ අද ගවේශනය කරන්න යන්නේ ජයන්ති...යා..ව. මෙයා මාළුවෙක් හොඳේ. බන්දුල පෙතියා කීවොත් ගොඩක් අය දන්නවා ඇති. මුලු ලෝකෙම පීරලා හෙව්වත් මෙයා හොයාගන්න ඉන්නේ අපේ පුංචිම පුංචි රටේ, ගලපිටමඩ කියන ලස්සන ගමක, පුංචිම පුංචි දිය පාරක විතරයි. ඒ කියන්නේ මෙයා අපේ රටට ආවේනික මාළුවෙක්. අතිශය දුර්ලබයි කිව්වොත් හරියටම හරි. රතු දත්ත පොතට අනුව බන්දුල පෙතියා කියන්නේ දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට ලක් වූ මත්ස්‍යයෙක්. එයා ගැන විස්තර පසුවට කියන්නම්කෝ.
ඉකෝ යන්න හිතුවට කෝ ඉතින් හරි හමන් විස්තරයක් නැහැනේ කොහෙවත්. අන්තර්ජාලේ පීරලා හෙව්වත් නැහැ. ගම් වල නම් තිබ්බට මැප් එකේ ඒවා පෙන්නන්නෙත් නැහැ. අනික එක දොළ පාරක ලු ඉන්නේ. සබරගමුව පැත්තේ ගම් වල වතුර පාරවල් ඕනි තරම්. කොහෙ ඉන්නවද කියලා කවුද දන්නේ. මොනවා කරන්නද ඉතින්. ඕන දෙයක් කියලා ඉකෝ ටවුමට ගියා. යද්දිම වාසනාවට ගලපිටමඩ බස් එකක්... හැබැයි සෙනග පිරිලා. මඟදි ඔය ටික බහින්නැතෑ කියලා ඉකෝ බස් එකට නැග්ගා. ඉකෝ යන්නේ නිට්ටඹුවෙ ඉඳන්. කොළඹ ඉඳන් කොළඹ නුවර පාරෙ එන අයට නිට්ටඹුවහරි වරකාපොල හරි හරහා ගලපිටමඩට යන්න පුලුවන්, නැත්නම් හංවැල්ල පාරෙ යන අයට හංවැල්ල  අත්තනගල්ල හරහා හරි හංවැල්ල අවිස්සාවේල්ල රුවන්වැල්ල හරහා හරි ගලපිටමඩට යන්න පුලුවන්. ඉකෝ සිතියමකුත් දාන්නම්කෝ.
මඟදි ඉකෝට ඉඳගන්නත් හම්බුනා. ඉකෝ ඉතින් පරිසර සුන්දරත්වේ විඳ විඳ ගලපිටමඩට ගියා. විනාඩි 40ක් වගේ යද්දි ගලපිටමඩට ආවා. ටිකට් එක 47 ක් වුනා(16.08.11) ඈ. ගලපිටමඩ හරි ලස්සන පලාතක්. ඉකෝට ඉකෝගේ ගම මතක් වුනා. ඉකෝගේ ගමත් ඉස්සර මේ වගේ. ඒත් දැන් ඉතින් ඔක්කොම අලුත් වෙලා නේ. ඉකෝ ළඟ තිබ්බ කොමියුනිකේශන් එකකට ගිහින් ඇහුවා බන්දුල පෙතියා ඉන්නේ මේ ළඟද කියලා. එතන හිටපු නැන්දලා දෙන්න කිව්වා ,"ආ, අර දුර්ලබ මාලුවා නේද? අපි නම් හරි විස්තරයක් දන්නේ නැහැ. බෝඩ් එකක් නම් තියනවා දැක්කා අල්පිටිය පැත්තේ. හ්ම්ම්, අල්පිටිය සණස ඉස්සරහ වෙළ මැද්දෙන් පාරක් තියනවා ,ඒකෙ යන්න ඕන. පුතා කොහෙ ඉඳලාද ආවේ?" ඉකෝ ආවේ නිට්ටඹුවෙ ඉඳන්නේ නැන්දේ. " තනියම ද ආවේ? "ඔව් ඉතින්, ඉකෝ වැඩිපුර වැඩකරන්නේ තනියම නේ. "හ්ම්ම්,, පුතා අල්පිටිය සණස ගාවින් බැහැලා පොඩ්ඩක් අහලා බලන්නකෝ. එතන කට්ටිය ඇති විස්තර අහලා බලන්නකෝ." මොන බස් එකේද ඇන්ටි යන්න ඕන? "කෑගල්ල බස් එකේ යන්නකෝ පුතා. රුපියල් දොලහේ දුර. ට්‍රී වීල් ඒකක නම් 150ක් විතර ගනියි." ආ හරි නැන්දේ ගොඩක් ස්තූතියි. නිට්ටඹුවට අන්තිම බස් එක කීයටද තියෙන්නේ නැන්දේ? "දැන් නම් පාර හදලා තියන නිසා හවස් වෙනකම් බස් තියනව. හතර පහ වෙනකම් වගේ" හරි,, ගොඩක් ස්තූතියි නැන්දේ, මම ගිහින් එන්නම්. ෂුහ්,, යන්තම් ඇති ඉකෝගේ ලක් එක වැඩකරලා හෝඩුවාවක් නම් හම්බුනා. ඉකෝ එහාපැත්තේ බස් නැවතුමේ නවත්තලා තිබ්බ කෑගල්ල බස් එකට නැග්ගා. ගලපිටමඩ ඉදලා සල්ගල රක්ෂිතේටත් යන්න පුලුවන්. 4km යි.එහෙට යන බස්  තියනවා ගලපිටමඩ.... ඔන්න ,බස් එකේ ගිහින් අල්පිටියෙන් බැස්සා කියමුකෝ. ඒත් සණසක් නෑනේ. අප්පට, මේ මොකක්ද "නැණසල" බෝඩ් එකක්. කොන්දොස්තර අයියට හරියට ඇහිලා නැහැ මයේහිතේ. කමක් නැහැ. යමුකෝ ඉස්සරහට සණස පහු වුනේ නෑ නේ තාම. ඈතින් ලස්සන වෙල් යායක්. පරණතාලේ කඩමණ්ඩියක් පහුකරගෙන ඉස්සරහට යද්දි නිල්පාට වීදුරු දාපු සණස ගොඩනැගිල්ල තිබ්බා. සණසේ යට තට්ටුවේ කඩයක්. කරුණාවන්තයි වගේ පෙනුන නැන්දා කෙනෙක් හිටි නිසා ඉකෝ කඩේට ගොඩවුණා. "නැන්දේ, බන්දුල පෙතියා කියන මාලුවා ඉන්නේ මෙහෙද?" ඔව් පුතා, අර වෙළ මැද තියන පාර දිගටම යනකොට එළියේ වළං දාපු කඩයක් තියෙයි. ඒක පහු කරලා දිගටම යද්දි වෙලක් එක්ක තුම්මංහන්දියක් ඇති.එතනින් පහලට තියන පාරේ යන්න." ඉකෝත් ඉතින් ගමේ අසිරිය විඳ විඳ කියපු පාර ඔස්සේ ගියා. වළං කඩේ නම් හම්බුනා, ඊට පස්සේ යනවා යනවා ඉවරයක් නැහැ. එක දිගටම ගුරුපාර. ගෙවල් වෙල් වතුපිටි පහුකරගෙන...හෝව්,ඉකෝට පාර වැරදුනාවත්ද?

Tuesday, July 12, 2016

නොසැලකිල්ල නිසා බිහි වූ පෙනිසිලීන්

  ඇන්ටිබයෝටික්ස් නැතිනම් ප්‍රතිජීවක කිව්වහම අහලා නැති කෙනෙක් නැති තරම්. ඒත් ඇත්තෙන්ම මේවා මොනවාද කියලා මමවත් හරියට දැනගෙන හිටියේ නැහැ. ප්‍රතිජීවක කියලා කියන්නේ බැක්ටීරියා අසාදනයකදී එය වල්ක්වාගැනීමට හෝ එයට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා ප්‍රතික්ෂුද්‍රජීවී ඖෂධ වලටයි. මේවා ගැන වැඩි විස්තර වෙන දවසක කියන්නම්කෝ. අද මම කතා කරන්නේ ලෝකේ මුලින්ම සොයාගත්තු ප්‍රතිජීවකය ගැනයි.

අනෙකුත් බොහෝමයක් වැදගත් සොයාගැනීම වගේම මේ ලොව ප්‍රථම ප්‍රතිජීවකය ඒ කියන්නේ පෙනිසිලීන් හොයාගත්තේ අහම්බෙන්. පෙනිසිලීන් සොයාගත්තයි කියන්නේ නොබෙල් ත්‍යාගලාභී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං මහත්තයා. ඒ 1928 දී. එතුමා ඒ කාලෙ ව්‍යාධිජනක බැක්ටීරියාවන් ගැන පරීක්ශන පවත්වමින් ඉන්න අතරේ ලැබ් එකේ උදව් පදව්වට අත්උදවුකාරයෙක් තියන් ඉදලා තියනවා. දන්නවානේ මේ ක්ෂුද්‍ර ජීවීන් එක්ක කරන පරීක්ෂන ලේසි නැහැ කියලා. හිතන්නකෝ අපිට බත් එකක් එක දවසක් දිලීර බැක්ටීරියා වලින් බේරගන්න බැරි කොට උන්ව වගා කරගත්තහම පාලනය කොච්චර අමාරු ඇතිද කියලා. දැන් නම් මේ වගේ පරීකෂන කරන විද්‍යාගාර වලට වාතය ගන්නෙත් පෙරලා කරලා. ඒ කාලේ ඔය තාක්ෂණය නොතිබෙන්න ඇතිනේ. ඉතින් අර කිව්ව ලැබි ඇසිස්ටන්ට රැයක්ම ජනේලේ වහන්න අමතක වෙලා. ෆ්ලෙමිං මහත්තයා උදේම එද්දී එයා කලින් දවසේ හදලා තිබ්බ පෙට්රි දීසියක අමුතු දෙයක් හැදිලා. පෙනුමෙන් නම් ඒක පුස් හැදිලා වගේ. ඉතින් ෆ්ලෙමිං මහත්තයා ඇසිස්ටන්ටත් දෙහි කප කප අර නරක්වුණු පෙට්රි දීසිය විසි කරන්න හදද්දිම මතක් වුනාලු මේකෙ සරුවට වවලා තිබ්බ බැක්ටීරියා කොළනිය කෝ කියලා. මේ ගැන හොයන්න ඇන්වීක්ශෙන් බලද්දි තමයි පුදුම දෙයක් වෙනවා දැක්කේ. බැක්ටීරියා කොළනියෙන් කොටසක් ම මේ නිල්කොළ පාට දිලීරෙ නිසා  මැරිලා. ඉතිරි ටිකත් විනාශ වෙවී යනවා. ෆ්ලෙමිං මහත්තයාට ඒ පාර ඇතිවෙච්ච සතුටෙ තරම නතර වුනේ ඉතින් පෙනිසිලීන් හොයාගෙන. මොකද ඉතින් ඔහුට හොයාගන්න ඕන වෙලා තිබ්බ දේ ඉබේමට වෙලා නේ.ඒ කියන්නේ බැක්ටීරියාව පාලනය වෙලා. මේ පෙනිසීලියම් කියන දිලීරය බහිශ්‍ර්‍රාවී ඵලයක් විදිහට ශාවය කරන පෙනිසිලීන් කියන සංයෝගෙ නිසා තමයි අර බැක්ටීරියාව විනාශ වෙලා තියෙන්නේ. එහෙම වෙන්නේ මේ පෙනිසිලීන් , බැක්ටීරියාවන් නව සෛල බිත්ති හදන එකෙන් වලක්වලා ප්‍රජනනය කිරීම් වලක්වන නිසයි.

ඉතින් ඔහොම තමයි ලැබ් ඇසිස්ටන්ගෙන් වුන නොසැලකිල්ල නිසා පෙනිසිලීන් බිහිවුනේ. ෆ්ලෙමිං මහත්තයා මේක ලෝකෙට ඉදිරිපත් කලත් වානිජව මහාපරිමාණයෙන් පෙනිසිලීන් හදන්න මේ
Penicillium rubens දිලීරය ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ නිසා ඊට වසර ගානකට පස්සේ විද්‍යාඥයෝ විවිධ තැන් වලින් පස් සාම්පල් ගෙන්නගෙන පෙනිසීලියම් ගනයට අයත් වෙනත් දිලීර තියනවාද කියලා බැලුවා. එතකොට තමයි
Penicillium chrysogenum කියන දිලීරය හමුවුනේ. මේ දිලීරය ෆ්ලෙමිං මහත්තයාගේ දිලීරයට වඩා දෙතුන් සිය ගුනයකින් කාර්යක්ෂම වුනා. පසුවට මේ දිලීරෙ X කිරණ සහ පාරජම්බූල කිරණ වලට නිරාවරණය කරවලා ජාන විකෘති ඇති කරවලා මුල්ම දිලීරය වගේ දහස්ගුනයක් වැඩි ඵලදායක දිලීර විශේයක් නිපදවගන්න විද්‍යාඥයෝ සමත් වුනා. ඉතින් මෙන්න මේකයි පෙනිසිලීන් වල කතාව.

අදට සමුගන්නම්. තවත් වටිනා කියන දෙයකුත් එක්ක නැවත මුනගැසෙමු.

#සොබාදහමරකින්න#සොබාදමින්ආරක්ශාවලබන්න#

Sunday, June 12, 2016

යථාර්තය The Truth

බුදුදහම අවබෝධය යනු සොබාදහම අවබෝධකරගැනීමයි.
Understanding Buddhism is understanding the nature.