Wednesday, November 1, 2017

Lagen 1 Lagenandra jacobsenii de wit

Lagenandra jacobsenii de wit




Araceae කුලයට අයත් Lagenandra jacobsenii ශාකය ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත් කලාපීය ප්‍රදේශයට ආවේනික වේ. මෙම ශාකය 2012 ජාතික රතු දත්ත පොතට අනුව අන්තරායට පත්(Endangered) ජීව විශේෂයක් ලෙස වර්ග කර ඇත.
මෙම ශාකයේ කඳ කොටස(stem) 4cm පමණ විශ්කම්භයක් සහිතව පොළොවට සමාන්තරව වර්ධනය වේ. පත්‍ර තලය බොහෝදුරට ලන්සාකාර(lance-shaped) හැඩයක් ගනියි.( පත්‍රය එහි පළල මෙන් පස් ගුණයක් දිගු වේ)

පුෂ්පය කොළපුවක් සහිත වන අතර සමාවෘත(twisted) හා පිම්බුණ(inflated) ස්වභාවයක් ගනියි. ලංකාවේ හමුවන ඇතැම් Lagenandra විශේෂ වල කොළපුව ගැටිති සහිත(warty) වුවත් මෙම විශේෂ එසේ නොවේ. කෙණ්ඩියේ(kettle) ඇතුළත කලු දම් පැහැති වේ.
සමස්ත ශාකයම අඩි දෙකක් පමණ උස වන අතර ජලාශ්‍රිතව ප්‍රවාහශාකයක් ලෙස වර්ධනය වේ. සෙවන තරමක් ප්‍රියකරයි.
මෙම ශාකයට තිබෙන ප්‍රධාන තර්ජනය වාසස්ථාන අහිමි වීමයි. මෙවැනි වටිනා ශාක කවර හෝ සංරක්ෂණ විධි විධාන යොදා මතු පරපුරට ආරක්ෂා කරගැනීම සියලුදෙනාගේම වගකීමකි.






Wednesday, August 23, 2017

Cryp 1 Cryptocoryne undulata Wendt

Cryptocoryne undulata Wendt 


ශ්‍රී ලංකාව අවේනික ශාක බොහොමයක් හමුවන Araceae කුලයට අයත් සාමාජිකයෙක් වන Cryptocoryne undulata ශාකය එම ගණයට අයත් ශ්‍රී ලංකාවේදී දැකගතහැකි ශාක 11 අතුරින් එකකි. ඇතැම් මුලාශ්‍රවල එහි ව්‍යාප්තිය ලෙස ශ්‍රී ලංකාව ට අමතරව තායිලන්තයද දක්වා ඇත්තේ විසිතුරු පැළෑටි කර්මාන්තයේ බලපෑමෙන් විය යුතුය. Cryptocoryne undulata ශාකය ස්වභාව සංරක්ෂණය සඳහා වන අන්තර්ජාතික සංවිධානය(IUCN) විසින් ප්‍රකාශයට පත් 2012 ශ්‍රී ලංකා රතු දත්ත ලැයිස්තුවට අනුව දැඩි ලෙස අන්තරායට පත් ශාක විශේෂයක් ලෙස වර්ග කර ඇත.මෙහි ඉතිහාසය සැලකුවහොත් 60 දශකයේදී පලවුනු මුලාශ්‍ර වල මෙය Cryptocoryne willisii හිම රූපාකාරයක් ලෙස දක්වා ඇත.

තරංගීමය ස්වභාවයක් පෙන්වන  තරමක් දිගු පත්‍ර වල  වෘන්තය අඟල් 14 පමණ දක්වා වර්ධනය වූ අවස්ථා වාර්තා වී ඇත. පත්‍රයේ යටි පැත්තේ තද රත්පැහැති නාරටි දැකගත හැකි වේ.නිමග්න හා භෞමික රෝපිත අවස්ථා දෙකෙහිදීම මෙම ලක්ෂණය තරමක් පොදුවේ නිරීක්ෂණය කල හැක. නමුත් නාරටි රත්පැහැ නොවන අවස්ථාද හමුවන වේ. මෙම ශාක බොහෝවිට Cryptocoryne wendtii සේ  භාහිරින් දිස් වුවත් පුෂ්පයේ කොලපුවේ රූපාකාරයෙන් C. undulata බව තහවුරු කරගත හැකිය.

පුෂ්ප මංජරිය වටා පිහිටන පළල්, ඇඹරුණු කෙළවරක් (twisted limb) සහිත කොළපුවේ වඩා උස් වූ කොලරයක්(high collar) පිහිටීම අනන්‍යය ලක්ෂණයක් වේ. කොලරයේ ඇතුළු විවෘතවීම වටා දැකගත හැකි තද පැහැති වළල්ල විශේෂ වේ. කෙටි ජද ශුකියක් ඇත. පහල කොලපු කුහරයේ (kettle) අභ්‍යන්තර බිත්තියේ වූ ගර්ත(alveoli) ලංකාවෙන් හමුවන Cryptocoryne විශේෂ වල  සාමාන්‍යය ලක්ෂණයක් වේ.
Cryptocoryne undulata ශාකය විසිතුරු මත්ස්‍යය/ශාක කර්මාන්තයේදී ජලාල(aquarium) අලංකරණය සඳහා සුලබ ලෙස භාවිත වේ. අඩු ආලෝක තත්ත්ව යටතේදී පවා පහසුවෙන් වගා කරගත හැකිවීම, දැකුම්කලු පෙනුම හා වර්ණ රටා දැරීම, පහසුවෙන් ප්‍රචාරණය කරගත හැකිවීම මීට හේතුවන්නට ඇත. අඩු ආලෝක තත්ත්ව යටතේදී Cryptocoryne undulata ශාකය වඩාත් උස් ව විශාලව වර්ධනය වේ. නමුත් පොහොර යෙදූ මාධ්‍යයක වැඩි ආලෝක තත්ත්ව  යටතේ වගා කල විට දේහ විශාලත්වය අඩු වී වැඩි වර්ධන වේගයක් සහිතව වඩාත් අලංකාරවත්ව වර්ධනය වේ. අමතර CO2 සැපයුමක් අවශ්‍යය නොවේ.දීප්තිමත් ආලෝකය සහ 22-28 C උෂ්ණත්වය ප්‍රිය කරයි. 
අර්ධ හෝ පුර්ණ ලෙස නිමග්නව වගකරගත හැකිය. පහසුවෙන් මල් හටගැනීම සිදුවේ. භෞමිකව වගාකරගන්නේ නම් ලෝම පසක් හා ආර්ද්‍රතාවය වැඩි තෙත් පරිසරයක් සුදුසු වේ.වර්ධක ප්‍රචාරණය මව් ශාකයේ පාදයට ආසන්නව වර්ධනය වන ධාවක වෙන්කරගැනීම මඟින් සිදුකරගත හැක. වෙන්කරගත් ධාවක වලට මුල් නිසියාකාරව වර්ධනය වී ස්ථාපිත වීම සඳහා තරමක කාලයක් ගතවුවත් ඉන්පසුව ශීඝ්‍ර වර්ධනයක් පෙන්වමින් ඉක්මනින් පරිණතියට පත් වේ. 


කෙසේනමුත් අප රටට අවේනික මෙම සුන්දර ශාක විශේෂයේ පැවැත්ම අවිධිමත් ඉදිකිරීම් හා  සංවර්ධන ව්‍යාපෘති, ශීඝ්‍ර ලෙස සිදුවන වන ආවරණය විනාශ කිරීම හා දේශීය හා විදේශීය වෙළඳාම පිණිස මහාපරිමාණයෙන් ස්වභාවික වාසස්ථාන වලින් ශාක ගලවාගැනීම නිසා දැඩි ලෙස තර්ජනයට ලක් වී ඇත. 
මෙවැනි වටිනා ශාක විශේෂ ආරක්ෂා කරගැනීම අප සැමගේ යුතුකමකි.

Synonyms

Cryptocoryne axelrodii Rataj, nom. illeg. 
Cryptocoryne willisii Engl. ex Baum, nom. illeg. 

මුලාශ්‍ර

1.The occurrence of Cryptocoryne and Lagenandra (Araceae) on Sri Lanka -A. de Grad and J. C. Arends
2.Some Selected Aquatic Ornamental Plants of Sri Lanka -A simplified guide to identification of
Aponogeton (Kekatiya) Lagenandra (Ketala) and Cryptocoryne (Atiudayan) -D. S. A. Wijesundara and J. G. Shantha Sin
3. http://www.catalogueoflife.org
4. www.aquaticplantcentral.com
5. www.Wikipedia.com

Thursday, April 13, 2017

සූරිය සිංහලයේ නුතන අවුරුදු සැමරිල්ල!


“එහෙ මෙහෙ දුවල වැඩක් නැහැ ළමයිනේ මේ රටේ කොහෙට දිව්වත් ඔය ටික තමයි.”
“එත් වනස්පති සීයෙ අපි කොහොමද මේ සද්දේ ඉවසන් ඉන්නේ. මොකක් වෙලාද මේ මිනිස්සුන්ට?”
“ හැම අවුරුද්දෙම ඔහොම තමයි පුතේ. ගිය අවුරුද්දෙත්  ගමේ හිටි සත්තු බොහොමයක් බිහිරි වුනා. දුර්වලම දෙතුන් දෙනෙක් මිය ගියත් එක්ක. අපිටනම් සද්දේ ඒ තරම් ගැටළුවක් නැහැ පුතාලට වගේ. එත් මේ ලොකු සද්ද ඇහෙන්න පටන් ගත්තට පස්සේ වහින වැහි වලට ගහ කොළ වෙච්ච අපිව පිච්චිලා යනවා. ඒ මදිවට අපේ ඊළඟ පරම්පරාව ඇතිකරන්න උදවු කරන මි මැස්සෝ , කනෙයියෝ වගේ පොඩි පොඩි සත්තු ගොඩක් දුම් සැරටම මියැදෙනවා බලන්න ඉන්න දුකයි. එත් අපි මොනවා කරන්නද පුතේ?”
“එත් සියේ අලුත් අවුරුද්දක් ලබන මේ අසිරිමත් වෙලාවේ ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ, බලන්න ඉර දෙවියෝ මුදුන් වෙලා, මෝසම් වැස්ස ලැබිලා අපි හැමෝටම නව පණක් ලැබිලා තියෙන්නේ. සොබා දහම් මාතාව මෙවැනි අසිරියක් අපිට විතරක් නෙමෙයි ඇයට මේ තරම් හිරිහැර කරන මිනිස්සුන්ටත් සමානව ලබාදෙන්නේ මොන තරම් කරුණිකවද, ඇයි ඉතින් මිනිස්සුම ඒ ලැබෙන දේවල් විනාශ කරගන්නේ.”
“ ඇයි අයියේ, මම දැක්ක ඉස්කෝලේ ගෙදර මහත්තයත් වැඩ ඇල්ලුවේ බට්ටෝ වැලක් පත්තු කරලා. අහන්න දෙයක් නැහැ ඉතින් හැමදාම හවසට වැනි වැනී එන උන්දැ නෝනා මහත්තයත් එක්ක පුපුරන එක...ඇයි ඉතින් අවුරුද්ද පටන් ගත්තේ ගින්දරත් එක්ක ගණුදෙනු කරලනේ.”
“ඇත්තටම සියේ ඉස්සරත් මිනිස්සු මෙහෙමද?”
“අනේ ඒ කාලේ අයෙත් එනවනම් පුතේ. ඒ කාලේ මිනිස්සු මෙහෙම නැහැ. පැළයක් දෙකක් ඉඳලා සොබාදහම් මාතාව එක්ක ගනුදෙනු කරලයි අවුරුද්ද පටන් ගන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ට වරදීවිද? බෝග වගාවක ඉන්න දළබුවෙක් පණුවෙක් දැක්කත් ඌව ගෙනත් මේ කැලේට දානවා. අවුරුදු කාලෙට ඒ මිනිස්සු ඊටත් වඩා හොඳයි. සතා සීපාවා විතරක් නෙමෙයි ගහ කොළ වෙච්චි අපටත් ගරුබුහුමන් කරනවා . අපි හැමෝගෙන අශිර්වාදේ ඒ මිනිස්සුන්ට ලැබුනා. ඉතින් ඒ මිනිස්සුන්ට අවුරුද්දෙම ලෙඩක් දුකක් හැදුනෙම නැති තරම්. බව බෝග නිතරම සශ්‍රීකව තිබුණා. අහම්බෙන් ගංකරෙන් ඇහුනේ උණ වෙඩිල්ලක සද්දයක් විතරයි. එකත් සොබා දහමත් එක්ක ගලාගෙන ගියා මිසක් දැන් වගේ මහා පොළොව හෙල්ලුම් කෑවේ නැහැ.”
“අනේ අයියේ දැනුත් එහෙම තිබ්බනම් !”
“ මොනවා කරන්නද මල්ලී දැන් කාලේ මිනිස්සු හරිම මෝඩයි. මට ඇහුණා වෙද මුත්තා කියනවා පිළිකා වගේ ලෙඩ දැන් මිනිස්සු ගොඩක් දෙනෙකුට හැදෙනවා කියල. අහන්න දෙයක් නැහැ මේ පුච්චන වෙඩි බෙහෙත්, මල් වෙඩි ටිකම ඇති නේ පිළිකා ගණනාවකට වග කියන්න.”
“ මේ සැරේ සංචාරයේ ආපු ගොඩක් කුරුළු යාලුවෝ කිව්වේ මෙහෙ විතරක් නෙමෙයි ලෝකේ වටේ ම තත්වේ එහෙමයි කියලා.”
“ඔව් පුතේ! එත් කියන්න ආඩම්බරයි ඉස්සර නම් ලෝකේ කොහොම වුනත් අපේ රටේ නම් ඔය මෝඩ වැඩ මොනවත් තිබුනේ නැහැ. සංචාරයේ ආපු බොහෝ දෙන මෙහෙ දාල ගියේ හරිම දුකෙන්. ඒ කාලේ මුළු ලෝකෙම සත්තු, ගහකොළ මේ පාරාදීසේ ගැන විස්තර අහන බව ඒ සංචාරකයෝ කියනවා. දැන් ඉතින් මෙහෙ මිනිස්සුත් අනිත් රටවල් වගේ  පහත් තත්වෙට වැටිලා..”

“කොහොම හිටපු ජාතියක් ද මේ මෝඩ විදිහට විනාශ වෙන්න යන්නේ.....!”

ඉකෝට හිතෙන දේවල්....!






පෙරදිග මිනිසුන් බොහෝවිට කෘතගුණ සැලකීම අතින් ඉදිරියෙන් සිටි බවක් ඒ ඒ ජන සමාජ පිළිබඳව සොයාබැලීමේදී පෙනී යන කරුණකි.තාක්ෂණය අතින් නොදියුණු මෙන්ම දියුණු කාලවකවානු වලදීත්  ඔවුන් තම ජීවිතය පවත්වාගෙන යාමට උපකාරීවන සොබාදහමට අතිශයින් ගෞරව  කළහ. විටෙක වන්දනාමාන කළහ. පුද පුජා පැවැත්වූහ. එතුලින් ඔවුන් කෘතගුණ සැලකීම මෙන්ම තවදුරටත් තම දිවිපෙවෙත සාර්ථකව පවත්වාගෙන යාමට පරිසරයෙන් ආධාර උපකාර පැතුහ.
          නුතන විද්‍යාව අදහාගෙන සිටිනා බොහෝ දෙනා මේ සංස්කෘතිකාංග අනුවන මෝඩ ක්‍රියා ලෙස සලකා නොසලකා හරිති. තමන්ට නිරීක්ෂණය වන හේතු දැකගත නොහැකි  සිද්ධි ඔවුහු ප්‍රතික්ෂේප කරති. හේතු ප්‍රත්‍ය අපැහැදිලි බැවින් කිසිවක් අසත්‍යක් ම වේ යැයි පැවසීම ගැටළුසහගතය. මන්දයත් එය නුතනයේ අප සතුව පවතින දැනුමට ස්පර්ශ නොවන්නක් විය හැකි බැවිනි. ඇතැම් කරුණක් සැලකූ විට එයට හේතු වූ කරුණු දෘශ්‍යමාන නිරීක්ෂණ තුල සෘජුවම අන්තර්ගත නොවිය හැකිය. සමහරක් දෑ විනිවිද දැකීමට සුක්ෂම අවධානයක් අවශ්‍යය වේ. කෙසේනමුත් මේ විශ්වයේ අපට ඉන්ද්‍රිය ගෝචර නොවන දෑ ද පැවතිය හැකි නොවේද?
          ආකර්ෂණ නීතිය (law of attraction) පිළිබඳව ඇතැම්විට ඔබ අසා ඇති. මෙය එක්තරා ආකාරයක විශ්වාසයක් නැතිනම් මතයක් ලෙසද හැඳින්විය හැකිය. කෙසේ නමුත් මෙය ඉතාම ප්‍රයෝගික බව නම් පැවසිය හැකිය. එහි දැක්වෙන්නේ විශ්වය තුල සමාන දෑ එකිනෙක ආකර්ෂණය වන බවයි. ඒ නියමයට අනුව ධනාත්මක ආකල්ප සිතුවිලි වලට ධනාත්මක අවස්ථා සහ ශක්තීනුත් සෘනාත්මක ආකල්ප සිතුවිලි වලට සෘණාත්මක අවස්ථා සහ ශක්තිනුත් ආකර්ෂණය වේ. ඒ අනුව අප ගත කල, අප ගත කරන සහ අප ගත කිරීමට නියමිත ජිවිතයට වගකිව යුත්තා අපම වේ. අප දැන් සිටින්නේ කොහෙද, කා සමගද, සතුටින් සිටීද දුකින් සිටීද යන්නට වගකිව යුත්තා අපම වේ. මෙය කියන්නටත් දෙයක් දැයි දැන් ඔබට සිතෙනු ඇත. නමුත් මෙය මෙසේ සිදුවේ නම් ඇයි අපට බැරි අපට අවශ්‍යය ආකාරයට අපගේ ජීවිතය නිර්මාණය කරගන්න? අපගේ ජිවිතයේ මැවුම්කරුවා අපම වන්න. සැබවින්ම පුළුවන්. අපේ ජිවිතයට වගකිව යුත්තා අපිම නම් අප යා යුතු තැන , විය යුතු පුද්ගලයා, අප ලබන වැටුප අපටම තීරණය කරගත හැකි නොවේද. නමුත් අප බොහොමයක් දෙනා අපට අවශ්‍ය නොවන ආකාරයේ ජිවිත ගෙවන්නේ ඇයි? ඒ මේ ක්‍රියාවලිය නිසි අයුරින් තේරුම් නොගැනීම නිසයි. මෙහිදීද පාලකයා වන්නේ මනසයි. අප අපට අනවශ්‍ය දෑ බැහැර කර අපට අවශ්‍ය දේ දැඩිව අරමුණුගත කළහොත් , විශ්වාස කළහොත් අපගේ මනස අපව නිසැක වශයෙන්ම අරමුන කරා මෙහෙයවාවි.මෙම ආකර්ෂණ නිතිය ගැන තව දුරටත් සොයා බැලීමට ඇරයුම් කරමින් මම නැවතත් සාකච්චාව වෙත යොමු වෙන්නම්.
          දෙවියන් සමග සිදුකරන ගනුදෙනු මෙම ආකර්ෂණ නිතිය මත සිදු වේ දැයි විටෙක සිතේ. බැතිමතුන් දෙවි දේවතාවුන් කෙරෙහි දැඩි භක්තියක්, විශ්වාසයක් දක්වයි. මෙම දැඩි විශ්වාසය හේතුවෙන් බාරහාර වන දෑ සාර්ථක වීමටත්, ලෙඩ රෝග ආදිය සුව වීමටත් නොහැකිද? මේ සියල්ලෙහිම මනස මුල් කරගත් විද්‍යාත්මක පදනමක් පවතින බව පැවසීමට නොහැකිද? හදි හුනියන්, කේන්දර, ග්‍රහ දොස් වැනි දෑ වල බලපෑම මේ මත සිදුවිය නොහැකිද?
          මේ ආගම නිවැරදියි, මෙය වැරදියි කියමින් ලොව වටා විවිධ ආගම් වලට අයත් යැයි කියන බොහෝ පිරිස් විරසකව සිටියි. නමුත් ඒ එක් එක් ආගම සැලකු විට ඒ ඒ ආගම් වල උදවිය ඒ ඒ ආගම ඇසුරින් ඔවුන බලාපොරොත්තු වන දේ ලබයි. එසේ නොවේ නම්. එනම් එම ආගමෙන් ඔවුන්ට තමන් අපේක්ෂා කරන දෑ නොලැබෙයි නම් ඔවුන් එම ආගම අදහාවිද? ඒ අනුව පැහැදිලි වන්නේ ඒ බහුතරය බොහෝවිට තම ආගමෙන් තෘප්ත වන බවයි. නමුත් යම් ආගමක් වැරදියිත් නම් අනෙක් ආගමක් නිවරදියිත් නම් වේ නම් මෙවැන්නක් සිදු විය හැකිද? එසේ නම් ආගම් සියල්ලම පාහේ සත්‍යය විය යුතුය. නමුත් එකිනෙකට පරස්පර කරුණු දෙකක් එනම් උදාහරණ ලෙස ඔව් නැහැ යන ප්‍රකාශ දෙක එකවර තෘප්ත විය හැකිද? එසේනම් මෙහි සෑම ආගමකටම පාහේ පොදු යමක් පැවතිය යුතුයි. ඒ විශ්වාසයයි. ආගමකින් ආගමකට කරුණු පරස්පර වුවත් එකම ආගමක් තුල එසේ නොවන බැවින් එම ආගම අදහන්නන්ගේ විශ්වාසයට එම පරස්පරතාව බාධාවක් නොවේ. ඔවුන්ට අනුව තම ආගම පමණක්  සත්‍ය වේ. එමනිසා ඔවුන් එහි සඳහන් දෑ දැඩිව විශ්වාස කරයි. එම දැඩි විශ්වාසය මතම ඔවුන්ගේ විවිධ අරමුණු එම ආගම ඇසුරෙන් තෘප්ත කරගැනීම සිදුවිය නොහැකිද? මේ ඉකෝට වද දෙන ප්‍රශ්නයි.
          තේරුම් ගත නොහැකි බොහෝ පරස්පර අවස්ථා තේරුම් ගැනීමට මෙම ආකර්ෂණ නිතිය ඉඟි සපයයි. මේ පිළිබඳ විවෘත මනසින් අදහස් දැක්වීමට ඇරයුම්.

                

Monday, February 27, 2017

මාංශ භක්ෂක ශාක PDF ගොනුවේ දෝෂ නිවැරදි කිරීමයි...

දෝෂ නිවැරදි කිරීම
4 පිටුව  

Darlingtonia, Heliamphora යන ගණ නාමයන් Darlingtonia, Heliamphora දෙස නිවැරදි විය යුතුයි.

6 පිටුව

Heliamphora යන ගණ නාමය Heliamphora දෙස නිවැරදි විය යුතුයි.

30, 39, 40, 42, 43  පිටු


Uricularia දෙස සඳහන් සෑම අවස්ථාවකම Utricularia දෙස නිවැරදි විය යුතුයි. 

මෙහි PDF ගොනුව සඳහා මෙතනින් පිවිසෙන්න.

Sunday, February 26, 2017

මාංශ භක්ෂක ශාක Carnivorous Plants


 
මාංශ භක්ෂක ශාක යනු සොබාදම් මාතාවගේ අසිරිමත් නිර්මාණයකි. සතුන් පරයා ශාක ජයගන්නා අවස්ථා ඇතිබව තහවුරු කිරීමට මොවුන් සමත්වෙයි. මාංශ භක්ෂක ශාක සඳහා නිර්වචන රාශියකි.
ඇතැම් තැන්හි පවසන්නේ සතුන් ගොදුරු කරගැනීම සඳහා දරන්නා වූ ව්‍යුහමය, කයකර්මීය හෝ චර්යාත්මක අනුවර්තන දරන, ඒවා මඟින් සතුන් ගොදුරුකරගන්නා, ගොදුරු කරගත් සතුන් එන්සයිම භාවිතයෙන් ජීර්ණය කරන , අදාල ජීර්ණඵල අවශෝෂණය කරගැනීමේ හැකියාවෙන් යුක්ත ශාක ලෙසයි. ඇතැම් තැන්හි මෙහි එන්සයිම භාවිතයෙන් යන්න සඳහන්ව නැත. එයට හේතුව බැක්ටීරියා වැනි වෙනත් සහජීවී සම්බන්ධතා ඇසුරෙන් තම ගොදුරු ජීර්ණය කරගන්නා මාංශ භක්ෂක ශාක විශේෂ හමුවීමයි. එමනිසා එය වඩාත් සාධාරණ වේ.
          ව්‍යාජ මාංශ භක්ෂකතාව දරන ශාක ද හමු වේ. ශාකයේ අවශ්‍යතාවයක් මත හෝ එසේ නොමැතිව මෙම ශාක වල වූ සුවිශේෂී පත්‍ර හා පුෂ්ප වල වූ ව්‍යුහ වලට සතුන් හසු වීම සිදුවේ. නමුත් ශාකය විසින් එම සතුන් ජීර්ණය හෝ අවශෝෂණය නොකරයි. මෙය ඇතැම් ශාක වල පරාගනය සහ බීජ ව්‍යාප්තිය සඳහා ද යොදාගෙන ඇත.
         උදාහරණ ලෙස ඇතැම් ශාකවල පුෂ්පයේ වෘන්තය සහ මනිය ඇලෙන සුළු ලාටු සහිත කේශර වලින් වැසී ඇත.  මේවා නිසා භෞමික කෘමින් මඟින් සිදුවිය හැකි සම පරාගනය අවම කරවන අතර වන්දන් වැනි කෘමිභක්ෂකයන්ගෙන් මී මැස්සන් වැනි පරාගනකාරී කෘමින්ව ආරක්ෂා කරවයි.
         මාංශ භක්ෂක ශාක සැලකූවිට විශාල විවිධත්වයක් සහ ව්‍යාප්තියක් දැකගත හැකිය. භෞමික මෙන්ම මිරිදිය පරිසර වලත් , කලපු,විල්ලු ආශ්‍රිත පරිසර පද්ධති වලත්, මුඩුබිම්, ගල්තලා, වැලිතලා සහ කාන්තාර ආශ්‍රිත ප්‍රදේශවල පවා මේවා ව්‍යාප්ත වී ඇත.
        ශාක ලෝකයේ අපුර්ව හැඩගැසීමක් වන මේ ශාක අදාළ පරිසර තත්ත්ව වලට අතිශයින් සංවේදී වේ. එමෙන්ම මේවයින් බහුතරය අකාෂ්ඨීය ශාක වේ. මේ නිසා ම වර්තමානයේදී මෙම ශාක දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත. මෙම පරිශ්‍රමයේ ප්‍රධාන අරමුණ වනුයේ ද මෙම සුවිශේෂී ජීවී කොට්ඨාශය පිළිබඳව  අවබෝධයක් ලබාදීම තුලින් ඔවුන් ආරක්ෂා කරගැනීමට උනන්දු කරවීමයි.
මෙම PDF ගොනුව පරිශීලනයට මෙතනින් පිවිසෙන්න.  

Friday, December 30, 2016

SLF-02 ලේ තිත්තයා

ලේ තිත්තයා
Cherry Barb
Puntius titteya

ඉතාමත් අලංකාර මත්ස්‍යයෙකු වන ලේ තිත්තයා ලංකාවේ කැළණි ගංගා ද්‍රෝණියේ සිට නිල්වලා ගංගා ද්‍රෝණිය දක්වා ව්‍යාප්තියක් පෙන්වයි. ලංකාවට ආවේනික මොහු සෙවනැති, මඩ හෝ කොළරොඩු සහිත පතුලක් ඇති සෙමෙන් ගලන දියපාරවල් වල ජීවත් වෙයි. නිමග්න ජලජ ශාක සහිත ප්‍රදේශ වලට වඩාත් ප්‍රිය කරයි.
දිගටි සිරුරක් සහිත ලේ තිත්තයා ඌර්ධව හනුක අංකුට(maxillary barbells) යුගලක් දරයි. Sri Lankan Freshwater Fishes ග්‍රන්ථයට අනුව මොවුන්ගේ වර්ණ ප්‍රභේද දෙකක් හඳුනාගෙන ඇත. "නියෝන්(Neon)" ප්‍රභේදයේ පෘෂ්ඨීය ප්‍රදේශය තද දුඹුරු පැහැති වන අතර පහලට යත්ම එය කහ පැහැයට හුරු වර්ණයකට හැරෙයි. මෙම නිසා  පෘෂ්ඨීය හා පාර්ශ්වික ප්‍රදේශ අතර ඇතිවූ තියුණු සීමාවක් දැකගත හැකියි. දේහයේ පූර්ව ප්‍රදේශයෙන් ඇරඹෙන තද දුඹුරු පැහැති තිරස් රේඛාවක් ඇස හරහා ගමන් කර පෞච්ඡ වරලේ මුල හරි මැදින් අවසන් වේ. කහ-රතු පැහැයක් සහිත විනිවිදපෙනෙන සුළු වරල් දරයි. ඇතැම් පිරිමි සතුන්ගේ පාර්ශ්විකව නිල් පැහැ දිස්නයක් දැකගත හැකියි. ගැහැනු සතුන් වර්ණයෙන් ලා පැහැති වේ.
   "රතුකැට(ruby)" ප්‍රභේදයේ පෘෂ්ඨීය පෙදෙස තද රතු පැහැයක් ගනියි. පාර්ශ්විකව දීප්තිමත් රතු පැහැයක්ද, උදරීයව වඩාත් ලා පැහැයක්ද පෙන්වයි. නියෝන් ප්‍රභේදය පෙන්වන තද පැහැ තිරස් රේඛාව මොවුන්ගේ දැකගත් නොහැකි වන අතර මොවුන්ගේ විනිවිද පෙනෙන සුළු වරල් දීප්තිමත් රතු-රෝස පැහැයකින් යුක්තයි. පිරිමින් හා සැසඳූ කල ගැහැනු සතුන්ගේ ශරීර වර්ණයේ දීප්තිමත් බවින් අඩුය.
සංවේදී මත්ස්‍යය විශේෂයක් වන මොවුනගේ පැවැත්මට ප්‍රධාන තර්ජනයක් වන්නේ වාසස්ථාන අහිමි වීමයි. මතු දවස උදෙසා මෙවැනි සුන්දර ජීවීන් රැකගැනීම අපගේ යුතුකමකි..!