Showing posts with label #PethiaBandula #CriticallyEndangered #Galapitamada. Show all posts
Showing posts with label #PethiaBandula #CriticallyEndangered #Galapitamada. Show all posts

Thursday, December 29, 2016

දුලබ ජයන්තියා සොයා...03

මේ කතාව මෙච්චර දිගට ලියලා ජයන්තියා කියලා ඉකෝට නමකුත් හැදේවිද දන්නේ නැහැ. ඒත් ඉකෝ දන්නවා මේ ලිපිය මේ තරම් සවිස්තරාත්මක කරන එකෙන් කාටහරි ප්‍රයෝජනයක් වේවි කියලා. ඉකෝ "දුලබ ජයන්තියා සොයා" ලියන්නේ ඒ අය වෙනුවෙන්...

වාසනාවකට වගේ මට මුණගැහිලා තියෙන්නේ ප්‍රජා මූල පරිසර සංවිධානයේ ලේකම්තුමා, චතුර අයියාව. ඉකෝ ඇත්තටම ආවේ හොඳ චේතනාවකින් කියලා තේරුම් ගියාට පස්සේ චතුර අයියා ඉකෝට ගොඩක් උපකාර කලා. ජයන්තියා ගැන වැඩිදුර විස්තර ඉකෝට දැනගන්න පුලුවන්වුනෙත් චතුර අයියාගෙන්. නිර්ව්‍යාජ ගැමි සංස්කෘතිය තවමත් ශේෂ වී ඇතී ඒ ප්‍රදේශයේ දී ඉකෝට තේ කෝප්පෙකුත් වැරදුනේ නැහැ. එකත් සප්පායම් වෙන ගමන් ඉකෝ චතුර අයියත් එක්ක ගොඩක් විස්තර කතා කළා. එයාලගේ දැන් බලාපොරොත්තුව මේ ප්‍රදේශය සොබා සංචාරක කලාපයක් ලෙස දියුණු කරන්නයි. මොකද ඒ අවට ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් වගේම ඓතිහාසික වශයෙනුත් ලොකු වටිනාකමක් තියෙන ප්‍රදේශයක්.
කූරන් විශේෂ 18ක් ,සමනළයන් විශේෂ 47ක් ,මත්ස්‍යය විශේෂ 14ක් , උභයජීවීන් විශේෂ 12ක් ,උරඟයින් විශේෂ 25 ,පක්ෂි විශේෂ 77ක් සහ ක්ෂීරපායීන් විශේෂ 21ක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඉනුත් විශේෂ 35ක් ලංකාවට ආවේනිකයි. තවද මහ හැඩයා, වන රාජ වැනි දුර්ලභ පැළෑටිත් සල්ගල අවට වනාන්තර වලින් වාර්තා වනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රාග්ඓතිහාසික දොරවක  ලෙන, ප්‍රාග්ඓතිහාසික අලවල  ලෙන, දැදිගම කොටවෙහෙර තියෙන්නෙත් ගලපිටමඩ අවටමයි.
සංවේදී කාරියක් නිසා හිදැස් නොතියාම ඉතා විධිමත් ලෙස මෙම කටයුත්ත සිදුකිරීමටයි ඔවුන්ගේ සූදානම. ඒ නිසා ඉදිරියේදි ප්‍රදේශයේ අහිංසක ජනතාවට  වගේම බන්දුල පෙතියාටත් වඩා යහපත් කාලයක් ඒවි කියලා හිතන්න පුලුවන්.  කතාවත් එක්කම චතුර අයියා කර කර හිටපු වැඩේ අහවර වුනාට පස්සේ අපි ඉකෝ ආපු අරමුණ ඉටුකරගන්න පිටත් වුනා. නිවසට ගොඩවුන පාරෙන්ම ආපහු පහලට බැස්ස අපි තොරතුරු  මධ්‍යස්ථානය නැත්නම් අයියාගේ වචනවලින්ම කිව්වොත් සෙන්ටර් එකත් පහු කරගෙන ගුරු පාර දිගේ ඉස්සරහට ගියා. රබර් ගස් පාමුළ යටි වගාවක් හොඳට වැවිලා තිබ්බේ කැකිල්ල වගේ මීවන පඳුරු. ගස් ගල් දිගේ ගිය පෝටා වැල් ඕකෙයිය පඳුරුත් යහමින්න තිබ්බා. දිවා හිරු රැස් මුවාකළ රබර් වියන ඉක්මවපු අපිට ඊළඟට හමු වුනේ පොඩි කුඹුරු යායක්. යායේ මැද්දෙන් යන පාරට උඩහින් ඉහළ ලියැද්දේ කෙළවර පැත්තෙන් ගලාගෙන එන දොළපාර බෝක්කුව යටින් ගිහින් පාරට පහළ ලියැද්ද අයිනෙන් ගලාගෙන යන්නේ පුදුමාකාර සුන්දරත්වයක් මවාපාමින්. පාරෙන් පහළට බැස්ස අපිට ඊළඟට සිසිලස සැපයූවේ දොළ අයිනේ සිටි මහා කුඹුක් රාජයෙක්. බැලූ බැල්මට නාන තොටක් වගේ පෙණුනු එතැන ගල් කැට වලින් හදපු පොඩි බැම්මක් නිසා උඩහින් එන වතුර බේසමක වගේ එකතුවෙලා තිබුණා.
"ඔන්න මල්ලි හොයපු තැනට ආවා. මෙතනත් ජෝඩු දෙක තුනක් හිටියා මතකයි. බලන්න අඳුනගන්න පුලුවන්ද කියලා?"
කුඹුක් හෙවණේ ගලක් උඩ ඉඳගත්තු ඉකෝගේ, ඇස් වේගයෙන් කුඹුක් මුල් අතර ඒ මේ අත දිව්වා.
"හරි,, අර ඉන්නේ!! අර කලුපාට ඉරිදෙකක් තියන මාළුවා නේද?"
"ඔව්,,, ඔය එහා පැත්තේ තවත් ඇති."
ඇත්තටම ඉකෝ පිංතූර වලින් දැක්කටත් වඩා ගොඩක් ලස්සන මාළුවෙක් තමයි ජයන්තියා කියන්නේ. ඉකෝ දැක්ක ලොකුම මාළුවා නම් අඟල් එක හමාරක් විතර දිගයි. ඒත් මූලාශ්‍ර වල තියෙන විදිහට නම් අඟල් හතරක් පමණ වෙනකන් මෙයාට උපරිම විශාල වෙන්න පුලුවන්ලු.  දේහයේ සිරස් අතට තියෙන කලු පැහැති රේඛා දෙකෙන්, රත් පැහැ වලිග වරලෙන සහ ඇතැම්විට අසම්පූර්ණ ලෙස පිහිටි අන්වායාම රේඛාවකින් බන්දුල පෙතියාව වෙන්කරලා අදුරගන්න පුලුවන්. මෙයාලගේ පැටවු නම් බැලූ බැල්මට ටයිගර් බාබ්ස්ලා වගේ. කෙටල අතිඋඩයන් වැනි ශාක මෙයාලගේ පැවැත්මට වගේම ප්‍රජනනයට ගොඩක් වැදගත් බව චතුර අයියගෙන් දැනගන්න ලැබුනා. කෙටල විශේෂ  විද්‍යාත්මකව "Lagenandra  spp"ලෙසත් අතිඋඩයන් විශේෂ "Cryptocoryne spp"ලෙසත් හඳුන්වනවා. මේ ශාක දෙකෙත් ඇතැම් විශේෂ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති බව ඉකෝට අහන්න ලැබුනා.
 
සත්ව ලෝකයේ වැඩිපුර ලස්සන පිරිමි සතාලුනේ. ජයන්තියටත් ඒ දේම  පොදුයි. ප්‍රජනක සමය ලංවෙත්ම බන්දුල පෙතියාගෙ පිරිමිසතාගේ ශරීර වර්ණය ගොඩක් වැඩි වෙනවා. එතකොට නම් ගැහැනු සතාව ළඟින් තියන්නවත් බැහැ. ඉකෝට බනින්න නම් එපා. ඔයාලත් දැක්කොත් ඕකම කියාවි.
ඉකෝ පැහැදිලිවම කියන්න ඕනි ජයන්තියා මේ ප්‍රදේශයේ ධජයධාරී විශේෂය වුවත් තවත් මත්ස්‍ය විශේෂ රාශියක් මේ පරිසර පද්ධතිය තුල දැකගන්න පුලුවන්. උදේම ආවොත් වළිකුකුළා, කළු වඳුරා වැනි සත්තුත් දැකගන්න පුලුවන් කියලා චතුර අයිය කිව්ව. 

ඔහොම්මම දියපාර දිගේ ඉස්සරහට යද්දි ඒක දකුණට හැරිලා වෙළ මැද්දෙන් ගමන් කරනවා. එතනත් බන්දුල පෙතියෝ විශාල ප්‍රමාණයක් දැකගන්න පුලුවන්. එතනදි නම් චායාරූප ගන්න අයට කරදරයක් නැතිව ඒ වැඩේ කරගන්න පුලුවන්. දවල්රුවක යනවනම් ඉර එලිය නිල්  කැටේ වගේ වතුර ටික විනිවිද යන නිසා පහසුවෙන් සහ පැහැදිලිව මේ මත්ස්‍යයින්ව නිරීක්ෂණය කරන්න පුලුවන්. බාබ්ස් විශේෂ වල  අනන්‍යතාව පෙන්නමින් බන්දුල පෙතියා විටින් විට දොළ පත්ල පිරික්සමින් අහාර සොයන අයුරු බලන්න ලස්සනයි. බොහෝ වෙලාවට මේ අය තනියම හරි එහෙම නැත්නම් දෙතුන්දෙනා  කුඩා රංචු වශයෙන් තමයි හැසිරෙන්නේ. කොච්චර බලන් හිටියත් ඇතිවීමක් නැහැ. ඔහොම ගොඩක් වෙලා කට්ට අව්වේ ඉඳගෙන ඇළ දිහා බලන්හිටිය ඉකෝට දැන් යන්න වෙලාව හරි කියලා තේරුණා. මොකද පැයක් විතර චතුර අයියත් එතන.වැඩ ඔක්කොම දාලා මට උදව්වක් විදිහට එයත් ආවෙ. ඉතින් ආපහු නියර දිගේ ගිහින් පාරට ගොඩවුන ඉකෝ චතුර අයියගෙනුත් සමුගෙන ඒ පාර දිගේම ඉස්සරහට ගියේ ඒ පාර කෙලින්ම ගලපිටමඩ හන්දියට වැටෙනබව චතුර අයියා කියපු නිසා. ටිකක් දුර පාරක් වුනත් පරිසරය නම් බලන්න ලස්සනයි. වෙල් යායවල් කඳු පල්ලම් පහු කරගෙන කෙලින්ම යන ඒ පාර අන්තිමට වැටෙන්නෙ ගලපිටමඩ රුවන්වැල්ල පාරට එතනින් වමට හැරිලා ටිකක් ඉස්සරහට ගියහම ගලපිටමඩ නිට්ටඹුව පාර වැටෙන තුංමන්හන්දිය හමුවෙනවා. බස් එකක් කීයට ඒවිද නොදන්න නිසා ඉකෝ දිගටම බස්ස්ටෑන්ඩ් එකට ගිහින් බස් එකක් අල්ලගත්තා.

ඔන්න ඔහොමයි ඉකෝ ජයන්තියා සොයා ගිය චාරිකාව අවසන් වුනේ. දෙයක් දැනගත්තු ,ලබාගත්තු කෙනෙක් කොමෙන්ටුවකුත් කොටලම ගියොත් ඉකෝට ගොඩක් සතුටුයි.

Wednesday, August 10, 2016

දුලබ ජයන්තියා සොයා... 01

නිවාඩු කාලෙත් ආවනේ. ඉකෝට නම් ඉතින් ටියුසන් කැලෑසි එක්ක මොන නිවාඩුද? කොහොමහරි අහම්බෙන් වගේ වේගෙන් උදේ වරුවෙ වැඩ ටික ඉවර කරගත්තු දවසක හිතුවා වෙනසකටත් එක්ක කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන හිටිය ගමනක් යන්න. සල්ලි ටිකකුත් අතේ ගැවසුන නිසා ඉකෝ යන්න පිටත් වුනා. සැ.යු.-100ක් දෙසීයක් කියන්නෙත් ඉකෝට ලොකු ගානක් හරිද. ඉකෝ තාම ස්වාධීන නැහැනේ.
ඉතින් ඉර මුදුන් වෙන්න කිට්ටුව තමයි ඉකෝ තමන්ගේ අඩවියෙන් පිටත් වුනේ. තාම කිව්වේ නැහැනේ යන දිහා. ඉකෝ අද ගවේශනය කරන්න යන්නේ ජයන්ති...යා..ව. මෙයා මාළුවෙක් හොඳේ. බන්දුල පෙතියා කීවොත් ගොඩක් අය දන්නවා ඇති. මුලු ලෝකෙම පීරලා හෙව්වත් මෙයා හොයාගන්න ඉන්නේ අපේ පුංචිම පුංචි රටේ, ගලපිටමඩ කියන ලස්සන ගමක, පුංචිම පුංචි දිය පාරක විතරයි. ඒ කියන්නේ මෙයා අපේ රටට ආවේනික මාළුවෙක්. අතිශය දුර්ලබයි කිව්වොත් හරියටම හරි. රතු දත්ත පොතට අනුව බන්දුල පෙතියා කියන්නේ දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට ලක් වූ මත්ස්‍යයෙක්. එයා ගැන විස්තර පසුවට කියන්නම්කෝ.
ඉකෝ යන්න හිතුවට කෝ ඉතින් හරි හමන් විස්තරයක් නැහැනේ කොහෙවත්. අන්තර්ජාලේ පීරලා හෙව්වත් නැහැ. ගම් වල නම් තිබ්බට මැප් එකේ ඒවා පෙන්නන්නෙත් නැහැ. අනික එක දොළ පාරක ලු ඉන්නේ. සබරගමුව පැත්තේ ගම් වල වතුර පාරවල් ඕනි තරම්. කොහෙ ඉන්නවද කියලා කවුද දන්නේ. මොනවා කරන්නද ඉතින්. ඕන දෙයක් කියලා ඉකෝ ටවුමට ගියා. යද්දිම වාසනාවට ගලපිටමඩ බස් එකක්... හැබැයි සෙනග පිරිලා. මඟදි ඔය ටික බහින්නැතෑ කියලා ඉකෝ බස් එකට නැග්ගා. ඉකෝ යන්නේ නිට්ටඹුවෙ ඉඳන්. කොළඹ ඉඳන් කොළඹ නුවර පාරෙ එන අයට නිට්ටඹුවහරි වරකාපොල හරි හරහා ගලපිටමඩට යන්න පුලුවන්, නැත්නම් හංවැල්ල පාරෙ යන අයට හංවැල්ල  අත්තනගල්ල හරහා හරි හංවැල්ල අවිස්සාවේල්ල රුවන්වැල්ල හරහා හරි ගලපිටමඩට යන්න පුලුවන්. ඉකෝ සිතියමකුත් දාන්නම්කෝ.
මඟදි ඉකෝට ඉඳගන්නත් හම්බුනා. ඉකෝ ඉතින් පරිසර සුන්දරත්වේ විඳ විඳ ගලපිටමඩට ගියා. විනාඩි 40ක් වගේ යද්දි ගලපිටමඩට ආවා. ටිකට් එක 47 ක් වුනා(16.08.11) ඈ. ගලපිටමඩ හරි ලස්සන පලාතක්. ඉකෝට ඉකෝගේ ගම මතක් වුනා. ඉකෝගේ ගමත් ඉස්සර මේ වගේ. ඒත් දැන් ඉතින් ඔක්කොම අලුත් වෙලා නේ. ඉකෝ ළඟ තිබ්බ කොමියුනිකේශන් එකකට ගිහින් ඇහුවා බන්දුල පෙතියා ඉන්නේ මේ ළඟද කියලා. එතන හිටපු නැන්දලා දෙන්න කිව්වා ,"ආ, අර දුර්ලබ මාලුවා නේද? අපි නම් හරි විස්තරයක් දන්නේ නැහැ. බෝඩ් එකක් නම් තියනවා දැක්කා අල්පිටිය පැත්තේ. හ්ම්ම්, අල්පිටිය සණස ඉස්සරහ වෙළ මැද්දෙන් පාරක් තියනවා ,ඒකෙ යන්න ඕන. පුතා කොහෙ ඉඳලාද ආවේ?" ඉකෝ ආවේ නිට්ටඹුවෙ ඉඳන්නේ නැන්දේ. " තනියම ද ආවේ? "ඔව් ඉතින්, ඉකෝ වැඩිපුර වැඩකරන්නේ තනියම නේ. "හ්ම්ම්,, පුතා අල්පිටිය සණස ගාවින් බැහැලා පොඩ්ඩක් අහලා බලන්නකෝ. එතන කට්ටිය ඇති විස්තර අහලා බලන්නකෝ." මොන බස් එකේද ඇන්ටි යන්න ඕන? "කෑගල්ල බස් එකේ යන්නකෝ පුතා. රුපියල් දොලහේ දුර. ට්‍රී වීල් ඒකක නම් 150ක් විතර ගනියි." ආ හරි නැන්දේ ගොඩක් ස්තූතියි. නිට්ටඹුවට අන්තිම බස් එක කීයටද තියෙන්නේ නැන්දේ? "දැන් නම් පාර හදලා තියන නිසා හවස් වෙනකම් බස් තියනව. හතර පහ වෙනකම් වගේ" හරි,, ගොඩක් ස්තූතියි නැන්දේ, මම ගිහින් එන්නම්. ෂුහ්,, යන්තම් ඇති ඉකෝගේ ලක් එක වැඩකරලා හෝඩුවාවක් නම් හම්බුනා. ඉකෝ එහාපැත්තේ බස් නැවතුමේ නවත්තලා තිබ්බ කෑගල්ල බස් එකට නැග්ගා. ගලපිටමඩ ඉදලා සල්ගල රක්ෂිතේටත් යන්න පුලුවන්. 4km යි.එහෙට යන බස්  තියනවා ගලපිටමඩ.... ඔන්න ,බස් එකේ ගිහින් අල්පිටියෙන් බැස්සා කියමුකෝ. ඒත් සණසක් නෑනේ. අප්පට, මේ මොකක්ද "නැණසල" බෝඩ් එකක්. කොන්දොස්තර අයියට හරියට ඇහිලා නැහැ මයේහිතේ. කමක් නැහැ. යමුකෝ ඉස්සරහට සණස පහු වුනේ නෑ නේ තාම. ඈතින් ලස්සන වෙල් යායක්. පරණතාලේ කඩමණ්ඩියක් පහුකරගෙන ඉස්සරහට යද්දි නිල්පාට වීදුරු දාපු සණස ගොඩනැගිල්ල තිබ්බා. සණසේ යට තට්ටුවේ කඩයක්. කරුණාවන්තයි වගේ පෙනුන නැන්දා කෙනෙක් හිටි නිසා ඉකෝ කඩේට ගොඩවුණා. "නැන්දේ, බන්දුල පෙතියා කියන මාලුවා ඉන්නේ මෙහෙද?" ඔව් පුතා, අර වෙළ මැද තියන පාර දිගටම යනකොට එළියේ වළං දාපු කඩයක් තියෙයි. ඒක පහු කරලා දිගටම යද්දි වෙලක් එක්ක තුම්මංහන්දියක් ඇති.එතනින් පහලට තියන පාරේ යන්න." ඉකෝත් ඉතින් ගමේ අසිරිය විඳ විඳ කියපු පාර ඔස්සේ ගියා. වළං කඩේ නම් හම්බුනා, ඊට පස්සේ යනවා යනවා ඉවරයක් නැහැ. එක දිගටම ගුරුපාර. ගෙවල් වෙල් වතුපිටි පහුකරගෙන...හෝව්,ඉකෝට පාර වැරදුනාවත්ද?