Wednesday, November 1, 2017
Lagen 1 Lagenandra jacobsenii de wit
Wednesday, August 23, 2017
Cryp 1 Cryptocoryne undulata Wendt
![]() |
Cryptocoryne undulata Wendt |
Cryptocoryne axelrodii Rataj, nom. illeg.
Cryptocoryne willisii Engl. ex Baum, nom. illeg.
මුලාශ්‍ර
1.The occurrence of Cryptocoryne and Lagenandra (Araceae) on Sri Lanka -A. de Grad and J. C. Arends
2.Some Selected Aquatic Ornamental Plants of Sri Lanka -A simplified guide to identification of
Aponogeton (Kekatiya) Lagenandra (Ketala) and Cryptocoryne (Atiudayan) -D. S. A. Wijesundara and J. G. Shantha Sin
3. http://www.catalogueoflife.org
4. www.aquaticplantcentral.com
5. www.Wikipedia.com
Thursday, April 13, 2017
සූරිය සිංහලයේ නුතන අවුරුදු සැමරිල්ල!
ඉකෝට හිතෙන දේවල්....!
ආකර්ෂණ
නීතිය (law
of attraction) පිළිබඳව ඇතැම්විට ඔබ
අසා ඇති. මෙය එක්තරා ආකාරයක විශ්වාසයක් නැතිනම් මතයක් ලෙසද හැඳින්විය හැකිය. කෙසේ
නමුත් මෙය ඉතාම ප්‍රයෝගික බව නම් පැවසිය හැකිය. එහි දැක්වෙන්නේ විශ්වය තුල සමාන දෑ
එකිනෙක ආකර්ෂණය වන බවයි. ඒ නියමයට අනුව ධනාත්මක ආකල්ප සිතුවිලි වලට ධනාත්මක අවස්ථා
සහ ශක්තීනුත් සෘනාත්මක ආකල්ප සිතුවිලි වලට සෘණාත්මක අවස්ථා සහ ශක්තිනුත් ආකර්ෂණය
වේ. ඒ අනුව අප ගත කල, අප ගත කරන සහ අප ගත කිරීමට නියමිත ජිවිතයට වගකිව යුත්තා අපම
වේ. අප දැන් සිටින්නේ කොහෙද, කා සමගද, සතුටින් සිටීද දුකින් සිටීද යන්නට වගකිව
යුත්තා අපම වේ. මෙය කියන්නටත් දෙයක් දැයි දැන් ඔබට සිතෙනු ඇත. නමුත් මෙය මෙසේ
සිදුවේ නම් ඇයි අපට බැරි අපට අවශ්‍යය ආකාරයට අපගේ ජීවිතය නිර්මාණය කරගන්න? අපගේ
ජිවිතයේ මැවුම්කරුවා අපම වන්න. සැබවින්ම පුළුවන්. අපේ ජිවිතයට වගකිව යුත්තා අපිම
නම් අප යා යුතු තැන , විය යුතු පුද්ගලයා, අප ලබන වැටුප අපටම තීරණය කරගත හැකි
නොවේද. නමුත් අප බොහොමයක් දෙනා අපට අවශ්‍ය නොවන ආකාරයේ ජිවිත ගෙවන්නේ ඇයි? ඒ මේ ක්‍රියාවලිය
නිසි අයුරින් තේරුම් නොගැනීම නිසයි. මෙහිදීද පාලකයා වන්නේ මනසයි. අප අපට අනවශ්‍ය
දෑ බැහැර කර අපට අවශ්‍ය දේ දැඩිව අරමුණුගත කළහොත් , විශ්වාස කළහොත් අපගේ මනස අපව
නිසැක වශයෙන්ම අරමුන කරා මෙහෙයවාවි.මෙම ආකර්ෂණ නිතිය ගැන තව දුරටත් සොයා බැලීමට
ඇරයුම් කරමින් මම නැවතත් සාකච්චාව වෙත යොමු වෙන්නම්.
දෙවියන් සමග සිදුකරන ගනුදෙනු මෙම ආකර්ෂණ නිතිය මත සිදු වේ දැයි
විටෙක සිතේ. බැතිමතුන් දෙවි දේවතාවුන් කෙරෙහි දැඩි භක්තියක්, විශ්වාසයක් දක්වයි.
මෙම දැඩි විශ්වාසය හේතුවෙන් බාරහාර වන දෑ සාර්ථක වීමටත්, ලෙඩ රෝග ආදිය සුව වීමටත්
නොහැකිද? මේ සියල්ලෙහිම මනස මුල් කරගත් විද්‍යාත්මක පදනමක් පවතින බව පැවසීමට
නොහැකිද? හදි හුනියන්, කේන්දර, ග්‍රහ දොස් වැනි දෑ වල බලපෑම මේ මත සිදුවිය
නොහැකිද?Monday, February 27, 2017
මාංශ භක්ෂක ශාක PDF ගොනුවේ දෝෂ නිවැරදි කිරීමයි...
Sunday, February 26, 2017
මාංශ භක්ෂක ශාක Carnivorous Plants
මාංශ භක්ෂක ශාක යනු සොබාදම් මාතාවගේ අසිරිමත් නිර්මාණයකි. සතුන් පරයා ශාක ජයගන්නා අවස්ථා ඇතිබව තහවුරු කිරීමට මොවුන් සමත්වෙයි. මාංශ භක්ෂක ශාක සඳහා නිර්වචන රාශියකි.ඇතැම් තැන්හි පවසන්නේ සතුන් ගොදුරු කරගැනීම සඳහා දරන්නා වූ ව්‍යුහමය, කයකර්මීය හෝ චර්යාත්මක අනුවර්තන දරන, ඒවා මඟින් සතුන් ගොදුරුකරගන්නා, ගොදුරු කරගත් සතුන් එන්සයිම භාවිතයෙන් ජීර්ණය කරන , අදාල ජීර්ණඵල අවශෝෂණය කරගැනීමේ හැකියාවෙන් යුක්ත ශාක ලෙසයි. ඇතැම් තැන්හි මෙහි එන්සයිම භාවිතයෙන් යන්න සඳහන්ව නැත. එයට හේතුව බැක්ටීරියා වැනි වෙනත් සහජීවී සම්බන්ධතා ඇසුරෙන් තම ගොදුරු ජීර්ණය කරගන්නා මාංශ භක්ෂක ශාක විශේෂ හමුවීමයි. එමනිසා එය වඩාත් සාධාරණ වේ.ව්‍යාජ මාංශ භක්ෂකතාව දරන ශාක ද හමු වේ. ශාකයේ අවශ්‍යතාවයක් මත හෝ එසේ නොමැතිව මෙම ශාක වල වූ සුවිශේෂී පත්‍ර හා පුෂ්ප වල වූ ව්‍යුහ වලට සතුන් හසු වීම සිදුවේ. නමුත් ශාකය විසින් එම සතුන් ජීර්ණය හෝ අවශෝෂණය නොකරයි. මෙය ඇතැම් ශාක වල පරාගනය සහ බීජ ව්‍යාප්තිය සඳහා ද යොදාගෙන ඇත.උදාහරණ ලෙස ඇතැම් ශාකවල පුෂ්පයේ වෘන්තය සහ මනිය ඇලෙන සුළු ලාටු සහිත කේශර වලින් වැසී ඇත. මේවා නිසා භෞමික කෘමින් මඟින් සිදුවිය හැකි සම පරාගනය අවම කරවන අතර වන්දන් වැනි කෘමිභක්ෂකයන්ගෙන් මී මැස්සන් වැනි පරාගනකාරී කෘමින්ව ආරක්ෂා කරවයි.මාංශ භක්ෂක ශාක සැලකූවිට විශාල විවිධත්වයක් සහ ව්‍යාප්තියක් දැකගත හැකිය. භෞමික මෙන්ම මිරිදිය පරිසර වලත් , කලපු,විල්ලු ආශ්‍රිත පරිසර පද්ධති වලත්, මුඩුබිම්, ගල්තලා, වැලිතලා සහ කාන්තාර ආශ්‍රිත ප්‍රදේශවල පවා මේවා ව්‍යාප්ත වී ඇත.ශාක ලෝකයේ අපුර්ව හැඩගැසීමක් වන මේ ශාක අදාළ පරිසර තත්ත්ව වලට අතිශයින් සංවේදී වේ. එමෙන්ම මේවයින් බහුතරය අකාෂ්ඨීය ශාක වේ. මේ නිසා ම වර්තමානයේදී මෙම ශාක දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත. මෙම පරිශ්‍රමයේ ප්‍රධාන අරමුණ වනුයේ ද මෙම සුවිශේෂී ජීවී කොට්ඨාශය පිළිබඳව අවබෝධයක් ලබාදීම තුලින් ඔවුන් ආරක්ෂා කරගැනීමට උනන්දු කරවීමයි.
Friday, December 30, 2016
SLF-02 ලේ තිත්තයා
ලේ තිත්තයා
Cherry Barb
Puntius titteya
ඉතාමත් අලංකාර මත්ස්‍යයෙකු වන ලේ තිත්තයා ලංකාවේ කැළණි ගංගා ද්‍රෝණියේ සිට නිල්වලා ගංගා ද්‍රෝණිය දක්වා ව්‍යාප්තියක් පෙන්වයි. ලංකාවට ආවේනික මොහු සෙවනැති, මඩ හෝ කොළරොඩු සහිත පතුලක් ඇති සෙමෙන් ගලන දියපාරවල් වල ජීවත් වෙයි. නිමග්න ජලජ ශාක සහිත ප්‍රදේශ වලට වඩාත් ප්‍රිය කරයි.
දිගටි සිරුරක් සහිත ලේ තිත්තයා ඌර්ධව හනුක අංකුට(maxillary barbells) යුගලක් දරයි. Sri Lankan Freshwater Fishes ග්‍රන්ථයට අනුව මොවුන්ගේ වර්ණ ප්‍රභේද දෙකක් හඳුනාගෙන ඇත. "නියෝන්(Neon)" ප්‍රභේදයේ පෘෂ්ඨීය ප්‍රදේශය තද දුඹුරු පැහැති වන අතර පහලට යත්ම එය කහ පැහැයට හුරු වර්ණයකට හැරෙයි. මෙම නිසා පෘෂ්ඨීය හා පාර්ශ්වික ප්‍රදේශ අතර ඇතිවූ තියුණු සීමාවක් දැකගත හැකියි. දේහයේ පූර්ව ප්‍රදේශයෙන් ඇරඹෙන තද දුඹුරු පැහැති තිරස් රේඛාවක් ඇස හරහා ගමන් කර පෞච්ඡ වරලේ මුල හරි මැදින් අවසන් වේ. කහ-රතු පැහැයක් සහිත විනිවිදපෙනෙන සුළු වරල් දරයි. ඇතැම් පිරිමි සතුන්ගේ පාර්ශ්විකව නිල් පැහැ දිස්නයක් දැකගත හැකියි. ගැහැනු සතුන් වර්ණයෙන් ලා පැහැති වේ.
"රතුකැට(ruby)" ප්‍රභේදයේ පෘෂ්ඨීය පෙදෙස තද රතු පැහැයක් ගනියි. පාර්ශ්විකව දීප්තිමත් රතු පැහැයක්ද, උදරීයව වඩාත් ලා පැහැයක්ද පෙන්වයි. නියෝන් ප්‍රභේදය පෙන්වන තද පැහැ තිරස් රේඛාව මොවුන්ගේ දැකගත් නොහැකි වන අතර මොවුන්ගේ විනිවිද පෙනෙන සුළු වරල් දීප්තිමත් රතු-රෝස පැහැයකින් යුක්තයි. පිරිමින් හා සැසඳූ කල ගැහැනු සතුන්ගේ ශරීර වර්ණයේ දීප්තිමත් බවින් අඩුය.
සංවේදී මත්ස්‍යය විශේෂයක් වන මොවුනගේ පැවැත්මට ප්‍රධාන තර්ජනයක් වන්නේ වාසස්ථාන අහිමි වීමයි. මතු දවස උදෙසා මෙවැනි සුන්දර ජීවීන් රැකගැනීම අපගේ යුතුකමකි..!
Thursday, December 29, 2016
SLF-01 අහිරාවා
අහිරාවා
Common Spiny Loach
(Lepidocephalichthys thermalis)
වයිරන් අහිරාවා ඉහළ උන්නතාංශ වල හැර ලංකාව පුරාම වගේ පැතිරිලා ඉන්න මත්ස්‍යයෙක්. දිගටි සිරුරක් හිමි මොහුව ගංගා, ඇලදොළ, වගුරු, වැව්, කළපු වගේ පරිසර වලත් දූශිත නාගරික ඇළවල් සහ මුහුදට ඉතා ආසන්න ප්‍රදේශ වල පවා දැකගන්න පුලුවන්.
පෘෂ්ඨීයව කහ පැහැති සමේ පැතිරුණු තද දුඹුරු පැහැති පැල්ලම් වලිනුත්, පාර්ශ්විකව කහ-දුඹුරු සමේ පැතිරුණු තද දුඹුරු පුල්ලි වලිනුත් සමන්විතයි. පාර්ශ්වික පුල්ලි පේළියක, විශාල පුල්ලි 9-12 අතර සංඛ්‍යාවක් පිහිටයි. හිසේ පවතින පුල්ලි ඇඟේ පවතින අනෙකුත් පුල්ලි වලට වඩා කුඩයි. මේ පුල්ලි රටා සහ ශරීර වර්ණරටා එකිනෙකාගෙන් එකිනෙකාට තරමක් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම මොවුන්ගේ අංශ රේඛාව දැකිගත නොහැකියි. අංකුට යුගල තුනක් දරයි. පෞච්ඡ වරලේ මුල කලු තිතක් ඇති අතර පෘෂ්ඨීය සහ ළය වරල් කහ පැහැතියි, විනිවිද පෙනෙයි, තද දුඹුරු පැහැති පුල්ලි දැකිය හැකියි. පෞච්ඡ වරලෙහි ඊහිස් හැඩැති වර්ණවත් සිරස් තීරු 4-6ත් අතර සංඛ්‍යාවක් දැකගත හැකියි. ඇතැමුන්ගේ මෙම තීරු වක්‍රාකාර ස්වරූපයෙන් පැවතිය හැකියි. ශ්‍රෝණි සහ ගුද වරල් ලා කහ පැහැති වර්ණයක් ගනියි. පාරදෘශ්‍ය වේ. වර්ණයෙන් වඩාත් තද පැහැති පිරිමි සතුන් සාපේක්ෂව සිහින්දැරි වේ. වර්ණයෙන් ලා පැහැති ගැහැනු සතුන් විශාල උදරය දරයි.හොඳින් වර්ධනය වූ අහිරාවෙක් 5cm පමණ විශාල විය හැකියි.
අනාගත දිනපොතෙන් පිටුවක්
"පුතාලා දන්නවද මේ මාළුවා කවුද කියලා?"
"ඔය තරම් ලස්සන! ඌ රට එකෙක් නේද සීයේ?"
"ඇයි පුතේ පිටරට දේවල් විතරද ලස්සන? අපේ රටේ ලස්සන දේවල් නැද්ද? "
"කෝ සීයේ අපේ රටේ ලස්සන දේකට කියල තියෙන්නේ මුහුද විතරයිනේ...ඒත් ඒක ළඟට යන්නත් බයයි. තාත්තා කිව්වා ඉස්සර නම් බයවෙන්න දෙයක් නෑලු. වෙරළ ද මොකද්ද එකක් තිබ්බ නිසා ගිලෙන්නෙ නැතුව මුහුදේ වතුර උඩ උඩ පනින්නත් පුලුවන්ලු. දැන්නම් මුහුදෙ වතුර අල්ලන්වත් ඉඩක් නැහැනේ. මූදුවැටේ සං..රක්..සන.. ද මොකද්ද කියලා බෝඩ් ගහලත් තිබ්බා"
"ඒකත් ඇත්ත නෙවෙද,, මට අමතක උනානේ මාත් දැන් අසූවක අනූවක සීය කෙනෙක් කියලා"
"ඔය මාලුවා පුතේ... දැනට අවුරුදු හැට හැත්තෑවකට කලින් මේ අපේ රටේ හිටපු එකෙක්. උගේ නම් කියවන්න බලන්න?"
"බූ..ලාත් හා..ප..යා....ඇයි ඉතින් සීයේ මෙතන නිකන් වීඩියෝ එකක් විතරක් තියෙන්නේ... ඌට මොකද උනේ"
" ගෙදර යද්දි ඒ කතාව කියන්නම්කෝ පුතාලට. දැන් මේ සිංහරාජ පාක් එකේ ඉතුරු ටික බලමුකෝ.."
දෙයියනේ....මේ අවුරුදු ටිකට මේ දේවල් කොයිතරම් වෙනස් වෙලාද? හොර ගහකින් ලැබෙන සිසිලස, මහ නුගයක් දැක්කම ඇතිවෙන ගැඹුරු හැඟීම,,, අපේ දරුවන් කොහොම මේ වීඩියෝ වලින් ලබාගන්නද? ඉතුරු වෙලා තියෙන අපේ ගස් ටික බලන්නත් වෙනම අවසරයක් ඕනෙලු..! දුලාජ්ටවත් කියලා බලන්න ඕනෙ ඒ ගැන. මේ හැමතැනම තියෙන වැඩකට නැති රට ගස් පෙන්න පෙන්න මේ ළමයින්ට මොනවා නම් කියන්නද?
"සීයේ ඔන්න ඔන්න අද අපේ ගෙදර යන්න එන්න ඕනි..අනේ! අනේ! අනේ!"
"ඔව් සීයේ අද නම් ඔන්න සීයා බැහැ කියන්න බැහැ. අර හපයා ෆිෂ් ගැන කියන්නත් ඕනේ."
"පුතේ, උගේ නම් බුලත් හපයා.අපිට කොළඹට යනකන් පැය භාගයක්ම තියනවානේ. මම ඒ ටිකේ ඌ ගැන කියන්නම් තාත්තයි අම්මයි මෙහෙ නැති කොට මමත් ගියහම ආයම්මට කරදරයිනේ. මම තාත්තලා ලංකාවට ආවහම එන්නම්කෝ දවස් දෙක තුනක් ඉඳලා යන්නම."
"ඉතින් පුතේ අපි පොඩි කාලේ නම් ඔය බුලත් හපයෝ ඕන තරම් අපේ ගමේ ගොඩේ ඇළවල් වල හිටියා. පුංචි කාලෙ අපි උන්ට කෑම දානවා. උන් එක්ක සෙල්ලම් කරනවා. ඒත් සමහර මිනිස්සු සල්ලි හොයන්න ක්‍රම නැතුව වගේ බුලත් හපයන්ව අල්ල අල්ල පිටරට යැව්වා. ටික කාලයක් යද්දි තමයි අපේ අයට තේරුණේ මුන් එකෙක්වත් ඉතුරු වෙන්නෙ නැති වෙන්න ඔක්කොම රට යවන්නයි මේ අයගේ සැළසුම කියලා. මොකද ඒ අයට ඕනි සල්ලි විතරයි. ඉතින් සොබාදහමට ආදරේ කරනහොඳ මිනිස්සු ටිකක් එකතු වෙලා නීතියක් සකස් කලා මේ වගේ ලස්සන මාලුන්ව අල්ලන්නවත් රට යවන්නවත් බැරි විදිහට. ටික දවසක් ඔය නීතිය තිබ්බත් කුඩයක් තියන අයට නීතිය වැස්සක් විතරක් වුණා. ඒ වැස්සෙන් තෙමුණෙ අපේ දේ අගයන්න,ඒ දේ රැකගන්න දඟලන අහින්සක මිනිස්සු විතරයි. හැබැයි මහා පරිමාණෙන් වෙච්චි වැඩේ නතර වුන නිසා බුලත් හපයා වගේ අයගේ ගහනය ආයෙත් වැඩි වේගෙන ආවා. ඒත් ඒක වැඩි කළක් එහෙම ගියේ නැහැ. පුතේ,,
ඉස්සර අවම සුදුසුකමින් යන්න පුලුවන් රැකියාව තමයි අපේ රට පාලනය කරන එක. ඉතින් රට පාලනය කරන්න ගිහින් හිටියේ හරිම බුද්ධිමත් අය. ඒත් එක්කම දැන් ඔයාල ඉගෙනගන්න විදිහට නෙමෙයි ඒ කාලේ ඉගෙනගත්තේ. සීයලගේ කාලේ මුලින්ම ඉගැනගත්තේ බලේට, ඊට පස්සේ ආසාවට, ඊට පස්සේ කරන්න දෙයක් නැති කමට. මොකද ඒ කාලේ ඉස්කෝල වලින් ගොඩක් වෙලාවට දුන්නේ පොතේ පතේ දැනුම විතරයි. මනසට දෙයක් දුන්නේ හරි අඩුවෙන්. ඒ නිසාම උගත්තු හිටියත්, සොබාදහම ගැන, අපේ රට් ගැන හැඟීම් දැනීම් තියෙන අය හිටියේ අතලොස්සයි.
ඉතින් ඔහොම කාලෙ ගතවෙද්දි මිනිස්සු පරිසරය විනාශ කරන්න ගත්තා. හැම ඇළ පාරක්ම දොළක්ම පෞද්ගලික විදුලිබලාගාර කරන්න හැදුවා. මිනිස්සු ඇළ දොල වලට කෘමිනාශක වගේ රසායන ද්‍රව්‍යත්, කර්මාන්තශාලා වල අපද්‍රව්‍යයත් මුදාහරින්න ගත්තා. ව්‍යවස්ථාවත්, විධායකයත්,නීතියත් සල්ලි වලින් වැහිලා ගියා . මේවායින් බුලත් හපයා වගේ මාළුන්ව බේරගන්න ගිය අයටත් අන්තිමට උරුමවුනේ හිර කූඩුව නැත්නම්, සොහොන් පිට්ටනිය. නීති වෙනස් උනෙත් නැහැ. පරිසරය රැකගත්තෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි අනිත් රටවල මිනිස්සුන්ගෙ වැඩ නිසා ලෝකෙම වෙනස් වුනා. දේශගුණික තත්ව වෙනස් වුනා. දිග නියංකාල ආවා. මාළු ගැන තියා ගස් කොළන් වලට මේවයින් වන හානියවත් කවුරුත් හොයලා බැලුවේ නැහැ. හිත හොඳින් උනත් පරිසරවේදීන ස්ථානීය සංරක්ෂණය ගැනම විතරක් හිත හිත ඉද්දී මාළු ඉන්න තැන් ටික ඉන්න නුසුදුසු තත්වෙට පත් වෙලා, මාළු ටික මැරිලා ගියා. අන්තිම ඉතුරුවුන සිංහරාජෙත් හෙක්ටයාර් දහයක පහළොවක පාක් එකක් වුණා. ඉතින් පුතේ බුලත් හපයා අපිට නැති වුනේ ඔන්න ඔහොමයි. ඌ විතරක් නෙමෙයි පුතලා පාක් එකේදී වීඩියෝ ඇනිමේශන් වලින් දැක්ක තල්කොස්සා, රතු තිත්තයා, බන්දුල පෙතියා වගේ සංවේදී මළු ගොඩක් අපිට දැන් අහිමි වෙලා. "
"පුතාලාත් හොඳට ඉගෙනගෙන රට යන්න. එහේ ඉන්නවාලු අපේ රටෙන් නැති වෙලා ගිය මාළු. පුතාලට එහෙදි
එයාලව අල්ලන්න විතරක් නෙමෙයි ඇති කරන්නම පුලුවන් වේවි. අපි මෙහෙදි රට මාලු ඇතිකරනවා වගේ."
"හැබැයි මතක තියාගන්න. රට හිටියට ඒ අපේ මාළු. උන්ගේ ලස්සන ගැන් පුතාලට ආඩම්බර හිතේවි. උන්ව රැකගන්න බැරිවුනාට සීයලට සමාව දෙන්න පුතේ. සීයාලාගේ උත්සාහය පාලකයෝ සල්ලි වලට යටකරලා පාවලාදුන්නා..
දුලබ ජයන්තියා සොයා...03
මේ කතාව මෙච්චර දිගට ලියලා ජයන්තියා කියලා ඉකෝට නමකුත් හැදේවිද දන්නේ නැහැ. ඒත් ඉකෝ දන්නවා මේ ලිපිය මේ තරම් සවිස්තරාත්මක කරන එකෙන් කාටහරි ප්‍රයෝජනයක් වේවි කියලා. ඉකෝ "දුලබ ජයන්තියා සොයා" ලියන්නේ ඒ අය වෙනුවෙන්...
වාසනාවකට වගේ මට මුණගැහිලා තියෙන්නේ ප්‍රජා මූල පරිසර සංවිධානයේ ලේකම්තුමා, චතුර අයියාව. ඉකෝ ඇත්තටම ආවේ හොඳ චේතනාවකින් කියලා තේරුම් ගියාට පස්සේ චතුර අයියා ඉකෝට ගොඩක් උපකාර කලා. ජයන්තියා ගැන වැඩිදුර විස්තර ඉකෝට දැනගන්න පුලුවන්වුනෙත් චතුර අයියාගෙන්. නිර්ව්‍යාජ ගැමි සංස්කෘතිය තවමත් ශේෂ වී ඇතී ඒ ප්‍රදේශයේ දී ඉකෝට තේ කෝප්පෙකුත් වැරදුනේ නැහැ. එකත් සප්පායම් වෙන ගමන් ඉකෝ චතුර අයියත් එක්ක ගොඩක් විස්තර කතා කළා. එයාලගේ දැන් බලාපොරොත්තුව මේ ප්‍රදේශය සොබා සංචාරක කලාපයක් ලෙස දියුණු කරන්නයි. මොකද ඒ අවට ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් වගේම ඓතිහාසික වශයෙනුත් ලොකු වටිනාකමක් තියෙන ප්‍රදේශයක්.
කූරන් විශේෂ 18ක් ,සමනළයන් විශේෂ 47ක් ,මත්ස්‍යය විශේෂ 14ක් , උභයජීවීන් විශේෂ 12ක් ,උරඟයින් විශේෂ 25 ,පක්ෂි විශේෂ 77ක් සහ ක්ෂීරපායීන් විශේෂ 21ක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඉනුත් විශේෂ 35ක් ලංකාවට ආවේනිකයි. තවද මහ හැඩයා, වන රාජ වැනි දුර්ලභ පැළෑටිත් සල්ගල අවට වනාන්තර වලින් වාර්තා වනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රාග්ඓතිහාසික දොරවක ලෙන, ප්‍රාග්ඓතිහාසික අලවල ලෙන, දැදිගම කොටවෙහෙර තියෙන්නෙත් ගලපිටමඩ අවටමයි.
සංවේදී කාරියක් නිසා හිදැස් නොතියාම ඉතා විධිමත් ලෙස මෙම කටයුත්ත සිදුකිරීමටයි ඔවුන්ගේ සූදානම. ඒ නිසා ඉදිරියේදි ප්‍රදේශයේ අහිංසක ජනතාවට වගේම බන්දුල පෙතියාටත් වඩා යහපත් කාලයක් ඒවි කියලා හිතන්න පුලුවන්. කතාවත් එක්කම චතුර අයියා කර කර හිටපු වැඩේ අහවර වුනාට පස්සේ අපි ඉකෝ ආපු අරමුණ ඉටුකරගන්න පිටත් වුනා. නිවසට ගොඩවුන පාරෙන්ම ආපහු පහලට බැස්ස අපි තොරතුරු මධ්‍යස්ථානය නැත්නම් අයියාගේ වචනවලින්ම කිව්වොත් සෙන්ටර් එකත් පහු කරගෙන ගුරු පාර දිගේ ඉස්සරහට ගියා. රබර් ගස් පාමුළ යටි වගාවක් හොඳට වැවිලා තිබ්බේ කැකිල්ල වගේ මීවන පඳුරු. ගස් ගල් දිගේ ගිය පෝටා වැල් ඕකෙයිය පඳුරුත් යහමින්න තිබ්බා. දිවා හිරු රැස් මුවාකළ රබර් වියන ඉක්මවපු අපිට ඊළඟට හමු වුනේ පොඩි කුඹුරු යායක්. යායේ මැද්දෙන් යන පාරට උඩහින් ඉහළ ලියැද්දේ කෙළවර පැත්තෙන් ගලාගෙන එන දොළපාර බෝක්කුව යටින් ගිහින් පාරට පහළ ලියැද්ද අයිනෙන් ගලාගෙන යන්නේ පුදුමාකාර සුන්දරත්වයක් මවාපාමින්. පාරෙන් පහළට බැස්ස අපිට ඊළඟට සිසිලස සැපයූවේ දොළ අයිනේ සිටි මහා කුඹුක් රාජයෙක්. බැලූ බැල්මට නාන තොටක් වගේ පෙණුනු එතැන ගල් කැට වලින් හදපු පොඩි බැම්මක් නිසා උඩහින් එන වතුර බේසමක වගේ එකතුවෙලා තිබුණා.
"ඔන්න මල්ලි හොයපු තැනට ආවා. මෙතනත් ජෝඩු දෙක තුනක් හිටියා මතකයි. බලන්න අඳුනගන්න පුලුවන්ද කියලා?"
කුඹුක් හෙවණේ ගලක් උඩ ඉඳගත්තු ඉකෝගේ, ඇස් වේගයෙන් කුඹුක් මුල් අතර ඒ මේ අත දිව්වා.
"හරි,, අර ඉන්නේ!! අර කලුපාට ඉරිදෙකක් තියන මාළුවා නේද?"
"ඔව්,,, ඔය එහා පැත්තේ තවත් ඇති."
ඇත්තටම ඉකෝ පිංතූර වලින් දැක්කටත් වඩා ගොඩක් ලස්සන මාළුවෙක් තමයි ජයන්තියා කියන්නේ. ඉකෝ දැක්ක ලොකුම මාළුවා නම් අඟල් එක හමාරක් විතර දිගයි. ඒත් මූලාශ්‍ර වල තියෙන විදිහට නම් අඟල් හතරක් පමණ වෙනකන් මෙයාට උපරිම විශාල වෙන්න පුලුවන්ලු. දේහයේ සිරස් අතට තියෙන කලු පැහැති රේඛා දෙකෙන්, රත් පැහැ වලිග වරලෙන සහ ඇතැම්විට අසම්පූර්ණ ලෙස පිහිටි අන්වායාම රේඛාවකින් බන්දුල පෙතියාව වෙන්කරලා අදුරගන්න පුලුවන්. මෙයාලගේ පැටවු නම් බැලූ බැල්මට ටයිගර් බාබ්ස්ලා වගේ. කෙටල අතිඋඩයන් වැනි ශාක මෙයාලගේ පැවැත්මට වගේම ප්‍රජනනයට ගොඩක් වැදගත් බව චතුර අයියගෙන් දැනගන්න ලැබුනා. කෙටල විශේෂ විද්‍යාත්මකව "Lagenandra spp"ලෙසත් අතිඋඩයන් විශේෂ "Cryptocoryne spp"ලෙසත් හඳුන්වනවා. මේ ශාක දෙකෙත් ඇතැම් විශේෂ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති බව ඉකෝට අහන්න ලැබුනා.
සත්ව ලෝකයේ වැඩිපුර ලස්සන පිරිමි සතාලුනේ. ජයන්තියටත් ඒ දේම පොදුයි. ප්‍රජනක සමය ලංවෙත්ම බන්දුල පෙතියාගෙ පිරිමිසතාගේ ශරීර වර්ණය ගොඩක් වැඩි වෙනවා. එතකොට නම් ගැහැනු සතාව ළඟින් තියන්නවත් බැහැ. ඉකෝට බනින්න නම් එපා. ඔයාලත් දැක්කොත් ඕකම කියාවි.
ඉකෝ පැහැදිලිවම කියන්න ඕනි ජයන්තියා මේ ප්‍රදේශයේ ධජයධාරී විශේෂය වුවත් තවත් මත්ස්‍ය විශේෂ රාශියක් මේ පරිසර පද්ධතිය තුල දැකගන්න පුලුවන්. උදේම ආවොත් වළිකුකුළා, කළු වඳුරා වැනි සත්තුත් දැකගන්න පුලුවන් කියලා චතුර අයිය කිව්ව.
ඔහොම්මම දියපාර දිගේ ඉස්සරහට යද්දි ඒක දකුණට හැරිලා වෙළ මැද්දෙන් ගමන් කරනවා. එතනත් බන්දුල පෙතියෝ විශාල ප්‍රමාණයක් දැකගන්න පුලුවන්. එතනදි නම් චායාරූප ගන්න අයට කරදරයක් නැතිව ඒ වැඩේ කරගන්න පුලුවන්. දවල්රුවක යනවනම් ඉර එලිය නිල් කැටේ වගේ වතුර ටික විනිවිද යන නිසා පහසුවෙන් සහ පැහැදිලිව මේ මත්ස්‍යයින්ව නිරීක්ෂණය කරන්න පුලුවන්. බාබ්ස් විශේෂ වල අනන්‍යතාව පෙන්නමින් බන්දුල පෙතියා විටින් විට දොළ පත්ල පිරික්සමින් අහාර සොයන අයුරු බලන්න ලස්සනයි. බොහෝ වෙලාවට මේ අය තනියම හරි එහෙම නැත්නම් දෙතුන්දෙනා කුඩා රංචු වශයෙන් තමයි හැසිරෙන්නේ. කොච්චර බලන් හිටියත් ඇතිවීමක් නැහැ. ඔහොම ගොඩක් වෙලා කට්ට අව්වේ ඉඳගෙන ඇළ දිහා බලන්හිටිය ඉකෝට දැන් යන්න වෙලාව හරි කියලා තේරුණා. මොකද පැයක් විතර චතුර අයියත් එතන.වැඩ ඔක්කොම දාලා මට උදව්වක් විදිහට එයත් ආවෙ. ඉතින් ආපහු නියර දිගේ ගිහින් පාරට ගොඩවුන ඉකෝ චතුර අයියගෙනුත් සමුගෙන ඒ පාර දිගේම ඉස්සරහට ගියේ ඒ පාර කෙලින්ම ගලපිටමඩ හන්දියට වැටෙනබව චතුර අයියා කියපු නිසා. ටිකක් දුර පාරක් වුනත් පරිසරය නම් බලන්න ලස්සනයි. වෙල් යායවල් කඳු පල්ලම් පහු කරගෙන කෙලින්ම යන ඒ පාර අන්තිමට වැටෙන්නෙ ගලපිටමඩ රුවන්වැල්ල පාරට එතනින් වමට හැරිලා ටිකක් ඉස්සරහට ගියහම ගලපිටමඩ නිට්ටඹුව පාර වැටෙන තුංමන්හන්දිය හමුවෙනවා. බස් එකක් කීයට ඒවිද නොදන්න නිසා ඉකෝ දිගටම බස්ස්ටෑන්ඩ් එකට ගිහින් බස් එකක් අල්ලගත්තා.
ඔන්න ඔහොමයි ඉකෝ ජයන්තියා සොයා ගිය චාරිකාව අවසන් වුනේ. දෙයක් දැනගත්තු ,ලබාගත්තු කෙනෙක් කොමෙන්ටුවකුත් කොටලම ගියොත් ඉකෝට ගොඩක් සතුටුයි.













