නැහැ නැහැ. වැරදෙන්න විදිහක් නැහැ. කිව්ව විදිහේ තුම්මංහන්දියක් තාම හම්බුනේ නැහැ නේ. ඉකෝ තවත් ඉස්සරහට ගියා. ඉස්සරහින් තවත් නිල්ම නිල්පාට වෙල් යායක්. බත්කූරෙකුත් රූංගාලා කණ ළඟින් පියෑඹුවා..ගුරු පාර වෙළ මැද්දෙන් ගිහින් කෙළවරේදි දෙකට බෙදෙනවා. කෙළවරේ ඔන්න බෝඩ් එකකුත් පේනවා. පේන හැටියට නම් ආපු පාර හරි වගේ. හරි,මේ තමයි තැන. මේ තියෙනර කියපු බෝඩ් එක. ඉකෝට පුදුම සතුටක් දැනුනේ. එතනම නිල් කැටේ වගේ වතුර තියන චූටි දොළ පාරක්. සණසෙ නැන්දා කියපු විදිහට පහළ පාරේ එහෙම නැත්නම් වම් අත පැත්තෙ පාරෙ ලංගම බස් එකක් නවත්තලා තිබ්බා. ඉකෝ ඉතින් ඩ්‍රයිවර් උන්නැහේට කතා කරලා විස්තර ඇහුවා.
දිගටම ඉස්සරහට යන්න කිව්ව නිසා ගියත් පොඩි අඩි පාරක් වගේ තියෙන්නේ. කැලේ වැවිලා තිබ්බත් කොන්ක්‍රීට් කරපු පාරක් ඒක. කැලේ පාරක් මොකටද කොන්ක්‍රීට් කරලා තියෙන්නේ? මේක හරි පාර ම වෙන්න ඕන. උඩහට පාරක් තිබ්බත් ඒකෙ ගියේ නැත්තේ ඒ නිසයි. ඔහොම යද්දි ඉස්සරහා පාරට මහා තඩි පර්වතයක් තල්ලු වෙලා ඇවිත් පාර කැඩිලා, කොන්ක්‍රීට් කුඩේ කුඩු. එහෙම දෙයක් ඉකෝ දැක්කාමයි. ඕවා උඩිනුත් පැන පැන යද්දී ඉකෝ දැක්කා තවත් අර වගේම බෝඩ් එකක්. ඒත් එක්කම අලුත හදපු ගොඩනැගිල්ලක්. ඉකෝට කොමියුනිකේශන් එකේ නැන්දාව මතක් වුනා. එහෙනම් තැන හරි. "හපුගොඩ, අල්පිටිය, රබ්බිඩිගල ප්‍රජා මූල පරිසර සංවිධානය, බන්දුල පෙතියා සංරක්ෂණය මධ්‍යස්ථානය" ඔන්න ඉකෝ ජයන්තියා ළඟටම ඇවිත්. රබර් වත්ත මැද සීතල නිසා ආපු ගමන් විඩාවත් නැතිවුනා. කන්ද පහළ වෙළත් එක්කම තියන ඇලේ වෙන්න ඕනෙ ඔය කියන මාළුවා ඉන්නේ. පහළට බහින්න පැහැදිලි පාරකුත් නැහැ. අනික අර මාළුවා ඉන්නේ හරියටම කොහෙද දන්නෙත් නැහැනේ. ඉතින් ඉකෝ හිතුවා ගමේ කෙනෙක්ගේ සහය ගත්තොත් හොඳයි කියලා. ආපු පාරෙම ආපහු යද්දි කන්ද උඩ ගෙදරකට පාරක් තියනවා. ළඟපාත වෙන මිනිස් පුලුටක් නොපෙනුන නිසා ඉකෝ කන්දත් නැගගෙන උඩහට ගියා. ඔය ගියේ අර පල්ලෙහාට ඇවිත් තිබුණු ගලට උඩහින්. ඒක ලස්සන තැනක තිබුණ ලස්සන ගෙයක්. වෙල්යායට මුහුණලා කඳු ගැටයක් උඩ තිබුණු නිසා වට පිටාව හොඳට පේනවා. ඉකෝ මිදුලට යද්දි යද්දි ඉකෝට වඩාවැඩි වයසක් නැති අයියා කෙනෙක් ගෙදර ඉස්තෝප්පුවේ පොහොර වගයක් කළවම් කරකර ඉන්නවා. ඉකෝ කළින් ඉඳලාම දැනගෙන හිටියේ ගමෙන් ඒ තරම් ම හොඳ පිළිගැනීමක් නොලැබෙයි කියලා. මොකද බොහොමයක් ආගන්තුකයින් මේ මාළුවාව හොයාගෙන ගමට එන්නේ එච්චර හොඳ අරමුණකින් නෙමෙයි. කලාතුරකින් එන පරිසරවේදියෙක් වගේ කෙනෙක් හැරුණුකොට ගොඩක් වෙලාවට දුර්ලබ සත්තු විකුණගෙන කන එකෙක් හරි, පෞද්ගලික එකතුවලට දුර්ලබ ජීවීන් හොයාගෙන යන එකෙක්වගේ පටු අදහස් වලින් යුක්ත අය තමයි එන්නේ. ඉතින් ගමේ මිනිස්සු ආගන්තුකයෙක් ගැන සැකෙන් බලන එක අහන්න දෙයක් යැ.
හැබැයි ඒ මිනිස්සුන්ට ස්තූති කරන්න ඕනි මෙච්චර කාලයක් ලංකාවෙ මිනිස්සුන්ගෙන් ජයන්තියාව රැකගත්තට. ගමේ මිනිස්සු නොහිටින්න ඔහොම එකෙක් ඉන්නවා කියලා දැනගත්තු ගමන් අපේ මිනිස්සු ඌව රටපටවන්න ප්ලෑන් ගහලත් ඉවරයි. දොළ පාර කණපිට ගහලාහරි උන් ඔක්කොම අල්ලගෙන යන්න අය එයි හතු පිපෙනවා වගේ.
කොහොමහරි ඉකෝට හිතුව තරම් වැඩේ නරක් වුනේ නැහැ. හැබැයි හරියට හඳුන්වලාදෙනකම් සැකෙන් වගේ තමයි කතා කලේ. අඳුන ගත්තට පස්සේ නම් ඉතින් ඉකෝ අහන්න තියෙන ඔකෝම ප්‍රශ්න ටික අහගත්තා. මේ මාළුවා අඳුනගෙන තියෙන කතාවත් හරි අපූරු එකක්. මේ ගම් වල ඉන්න මාළු අල්ලලා විකුණන කෙනෙක් ඉඳලා බන්දුල කියලා. ඉතින් මේ කෙනා විකුණපු ජයන්තියෙක් ලංකාවේ ප්‍රසිද්ධ පරිසරවේදියෙක් සහ ස්වභාධර්ම විද්‍යාඥයෙක් වන රොහාන් පෙතියාගොඩ මහත්මයාට හම්බෙලා තියනවා. බලද්දි ලංකාවෙන් මේ වගේ පෙතියෝ විශේෂයක් මීට කලින් වාර්තා වෙලා නැහැ. ඉතින් ඒගැන වැඩිදුර හොයලා බලලා අධ්‍යයනය කරලා තමයි අර බන්දුල කියන පුද්ගලයාගෙ නමත් ඈඳගෙන මේ නව මත්ස්‍යය විශේෂය බන්දුල පෙතියා කියලා නම්කරලා තියෙන්නේ. මෙයාව හොයාගත්ත වර්ෂය හැටියට සඳහන් වෙන්නේ 1991 දීයි. මෙතුවක් කාලෙකට බන්දුල පෙතියා ස්වාභාවිකව වාර්තාවෙලා තියෙන්නේ ගලපිටමඩ තියෙන හපුගොඩ,රබ්බිඩිගල සහ අල්පිටිය කියන ගම්මාන තුන හරහා ගමන් කරන 2.5km පමණ දිග දිය පහරකින් පමණයි. ඒ නිසාම ජයන්තියා අයත් වෙන්නේ ස්ථානීය ආවේනික(spot-endermic) කියලා ප්‍රවර්ගයකටයි. ඉකෝ ජයන්තියාව මුණගැහුණු හැටි ඊළඟ කොටසෙන් කියන්නම්කෝ...
Thursday, August 11, 2016
දුලබ ජයන්තියා සොයා...02
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment