"පුතාලා දන්නවද මේ මාළුවා කවුද කියලා?"
"ඔය තරම් ලස්සන! ඌ රට එකෙක් නේද සීයේ?"
"ඇයි පුතේ පිටරට දේවල් විතරද ලස්සන? අපේ රටේ ලස්සන දේවල් නැද්ද? "
"කෝ සීයේ අපේ රටේ ලස්සන දේකට කියල තියෙන්නේ මුහුද විතරයිනේ...ඒත් ඒක ළඟට යන්නත් බයයි. තාත්තා කිව්වා ඉස්සර නම් බයවෙන්න දෙයක් නෑලු. වෙරළ ද මොකද්ද එකක් තිබ්බ නිසා ගිලෙන්නෙ නැතුව මුහුදේ වතුර උඩ උඩ පනින්නත් පුලුවන්ලු. දැන්නම් මුහුදෙ වතුර අල්ලන්වත් ඉඩක් නැහැනේ. මූදුවැටේ සං..රක්..සන.. ද මොකද්ද කියලා බෝඩ් ගහලත් තිබ්බා"
"ඒකත් ඇත්ත නෙවෙද,, මට අමතක උනානේ මාත් දැන් අසූවක අනූවක සීය කෙනෙක් කියලා"
"ඔය මාලුවා පුතේ... දැනට අවුරුදු හැට හැත්තෑවකට කලින් මේ අපේ රටේ හිටපු එකෙක්. උගේ නම් කියවන්න බලන්න?"
"බූ..ලාත් හා..ප..යා....ඇයි ඉතින් සීයේ මෙතන නිකන් වීඩියෝ එකක් විතරක් තියෙන්නේ... ඌට මොකද උනේ"
" ගෙදර යද්දි ඒ කතාව කියන්නම්කෝ පුතාලට. දැන් මේ සිංහරාජ පාක් එකේ ඉතුරු ටික බලමුකෝ.."
දෙයියනේ....මේ අවුරුදු ටිකට මේ දේවල් කොයිතරම් වෙනස් වෙලාද? හොර ගහකින් ලැබෙන සිසිලස, මහ නුගයක් දැක්කම ඇතිවෙන ගැඹුරු හැඟීම,,, අපේ දරුවන් කොහොම මේ වීඩියෝ වලින් ලබාගන්නද? ඉතුරු වෙලා තියෙන අපේ ගස් ටික බලන්නත් වෙනම අවසරයක් ඕනෙලු..! දුලාජ්ටවත් කියලා බලන්න ඕනෙ ඒ ගැන. මේ හැමතැනම තියෙන වැඩකට නැති රට ගස් පෙන්න පෙන්න මේ ළමයින්ට මොනවා නම් කියන්නද?
"සීයේ ඔන්න ඔන්න අද අපේ ගෙදර යන්න එන්න ඕනි..අනේ! අනේ! අනේ!"
"ඔව් සීයේ අද නම් ඔන්න සීයා බැහැ කියන්න බැහැ. අර හපයා ෆිෂ් ගැන කියන්නත් ඕනේ."
"පුතේ, උගේ නම් බුලත් හපයා.අපිට කොළඹට යනකන් පැය භාගයක්ම තියනවානේ. මම ඒ ටිකේ ඌ ගැන කියන්නම් තාත්තයි අම්මයි මෙහෙ නැති කොට මමත් ගියහම ආයම්මට කරදරයිනේ. මම තාත්තලා ලංකාවට ආවහම එන්නම්කෝ දවස් දෙක තුනක් ඉඳලා යන්නම."
"ඉතින් පුතේ අපි පොඩි කාලේ නම් ඔය බුලත් හපයෝ ඕන තරම් අපේ ගමේ ගොඩේ ඇළවල් වල හිටියා. පුංචි කාලෙ අපි උන්ට කෑම දානවා. උන් එක්ක සෙල්ලම් කරනවා. ඒත් සමහර මිනිස්සු සල්ලි හොයන්න ක්‍රම නැතුව වගේ බුලත් හපයන්ව අල්ල අල්ල පිටරට යැව්වා. ටික කාලයක් යද්දි තමයි අපේ අයට තේරුණේ මුන් එකෙක්වත් ඉතුරු වෙන්නෙ නැති වෙන්න ඔක්කොම රට යවන්නයි මේ අයගේ සැළසුම කියලා. මොකද ඒ අයට ඕනි සල්ලි විතරයි. ඉතින් සොබාදහමට ආදරේ කරනහොඳ මිනිස්සු ටිකක් එකතු වෙලා නීතියක් සකස් කලා මේ වගේ ලස්සන මාලුන්ව අල්ලන්නවත් රට යවන්නවත් බැරි විදිහට. ටික දවසක් ඔය නීතිය තිබ්බත් කුඩයක් තියන අයට නීතිය වැස්සක් විතරක් වුණා. ඒ වැස්සෙන් තෙමුණෙ අපේ දේ අගයන්න,ඒ දේ රැකගන්න දඟලන අහින්සක මිනිස්සු විතරයි. හැබැයි මහා පරිමාණෙන් වෙච්චි වැඩේ නතර වුන නිසා බුලත් හපයා වගේ අයගේ ගහනය ආයෙත් වැඩි වේගෙන ආවා. ඒත් ඒක වැඩි කළක් එහෙම ගියේ නැහැ. පුතේ,,
ඉස්සර අවම සුදුසුකමින් යන්න පුලුවන් රැකියාව තමයි අපේ රට පාලනය කරන එක. ඉතින් රට පාලනය කරන්න ගිහින් හිටියේ හරිම බුද්ධිමත් අය. ඒත් එක්කම දැන් ඔයාල ඉගෙනගන්න විදිහට නෙමෙයි ඒ කාලේ ඉගෙනගත්තේ. සීයලගේ කාලේ මුලින්ම ඉගැනගත්තේ බලේට, ඊට පස්සේ ආසාවට, ඊට පස්සේ කරන්න දෙයක් නැති කමට. මොකද ඒ කාලේ ඉස්කෝල වලින් ගොඩක් වෙලාවට දුන්නේ පොතේ පතේ දැනුම විතරයි. මනසට දෙයක් දුන්නේ හරි අඩුවෙන්. ඒ නිසාම උගත්තු හිටියත්, සොබාදහම ගැන, අපේ රට් ගැන හැඟීම් දැනීම් තියෙන අය හිටියේ අතලොස්සයි.
ඉතින් ඔහොම කාලෙ ගතවෙද්දි මිනිස්සු පරිසරය විනාශ කරන්න ගත්තා. හැම ඇළ පාරක්ම දොළක්ම පෞද්ගලික විදුලිබලාගාර කරන්න හැදුවා. මිනිස්සු ඇළ දොල වලට කෘමිනාශක වගේ රසායන ද්‍රව්‍යත්, කර්මාන්තශාලා වල අපද්‍රව්‍යයත් මුදාහරින්න ගත්තා. ව්‍යවස්ථාවත්, විධායකයත්,නීතියත් සල්ලි වලින් වැහිලා ගියා . මේවායින් බුලත් හපයා වගේ මාළුන්ව බේරගන්න ගිය අයටත් අන්තිමට උරුමවුනේ හිර කූඩුව නැත්නම්, සොහොන් පිට්ටනිය. නීති වෙනස් උනෙත් නැහැ. පරිසරය රැකගත්තෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි අනිත් රටවල මිනිස්සුන්ගෙ වැඩ නිසා ලෝකෙම වෙනස් වුනා. දේශගුණික තත්ව වෙනස් වුනා. දිග නියංකාල ආවා. මාළු ගැන තියා ගස් කොළන් වලට මේවයින් වන හානියවත් කවුරුත් හොයලා බැලුවේ නැහැ. හිත හොඳින් උනත් පරිසරවේදීන ස්ථානීය සංරක්ෂණය ගැනම විතරක් හිත හිත ඉද්දී මාළු ඉන්න තැන් ටික ඉන්න නුසුදුසු තත්වෙට පත් වෙලා, මාළු ටික මැරිලා ගියා. අන්තිම ඉතුරුවුන සිංහරාජෙත් හෙක්ටයාර් දහයක පහළොවක පාක් එකක් වුණා. ඉතින් පුතේ බුලත් හපයා අපිට නැති වුනේ ඔන්න ඔහොමයි. ඌ විතරක් නෙමෙයි පුතලා පාක් එකේදී වීඩියෝ ඇනිමේශන් වලින් දැක්ක තල්කොස්සා, රතු තිත්තයා, බන්දුල පෙතියා වගේ සංවේදී මළු ගොඩක් අපිට දැන් අහිමි වෙලා. "
"පුතාලාත් හොඳට ඉගෙනගෙන රට යන්න. එහේ ඉන්නවාලු අපේ රටෙන් නැති වෙලා ගිය මාළු. පුතාලට එහෙදි
එයාලව අල්ලන්න විතරක් නෙමෙයි ඇති කරන්නම පුලුවන් වේවි. අපි මෙහෙදි රට මාලු ඇතිකරනවා වගේ."
"හැබැයි මතක තියාගන්න. රට හිටියට ඒ අපේ මාළු. උන්ගේ ලස්සන ගැන් පුතාලට ආඩම්බර හිතේවි. උන්ව රැකගන්න බැරිවුනාට සීයලට සමාව දෙන්න පුතේ. සීයාලාගේ උත්සාහය පාලකයෝ සල්ලි වලට යටකරලා පාවලාදුන්නා..