“එහෙ මෙහෙ දුවල වැඩක් නැහැ ළමයිනේ මේ රටේ කොහෙට දිව්වත්
ඔය ටික තමයි.”
“එත් වනස්පති සීයෙ අපි කොහොමද මේ සද්දේ ඉවසන් ඉන්නේ.
මොකක් වෙලාද මේ මිනිස්සුන්ට?”
“ හැම අවුරුද්දෙම ඔහොම තමයි පුතේ. ගිය අවුරුද්දෙත් ගමේ හිටි සත්තු බොහොමයක් බිහිරි වුනා. දුර්වලම
දෙතුන් දෙනෙක් මිය ගියත් එක්ක. අපිටනම් සද්දේ ඒ තරම් ගැටළුවක් නැහැ පුතාලට වගේ.
එත් මේ ලොකු සද්ද ඇහෙන්න පටන් ගත්තට පස්සේ වහින වැහි වලට ගහ කොළ වෙච්ච අපිව
පිච්චිලා යනවා. ඒ මදිවට අපේ ඊළඟ පරම්පරාව ඇතිකරන්න උදවු කරන මි මැස්සෝ , කනෙයියෝ
වගේ පොඩි පොඩි සත්තු ගොඩක් දුම් සැරටම මියැදෙනවා බලන්න ඉන්න දුකයි. එත් අපි මොනවා
කරන්නද පුතේ?”
“එත් සියේ අලුත් අවුරුද්දක් ලබන මේ අසිරිමත් වෙලාවේ ඇයි
මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ, බලන්න ඉර දෙවියෝ මුදුන් වෙලා, මෝසම් වැස්ස ලැබිලා අපි
හැමෝටම නව පණක් ලැබිලා තියෙන්නේ. සොබා දහම් මාතාව මෙවැනි අසිරියක් අපිට විතරක්
නෙමෙයි ඇයට මේ තරම් හිරිහැර කරන මිනිස්සුන්ටත් සමානව ලබාදෙන්නේ මොන තරම් කරුණිකවද,
ඇයි ඉතින් මිනිස්සුම ඒ ලැබෙන දේවල් විනාශ කරගන්නේ.”
“ ඇයි අයියේ, මම දැක්ක ඉස්කෝලේ ගෙදර මහත්තයත් වැඩ ඇල්ලුවේ
බට්ටෝ වැලක් පත්තු කරලා. අහන්න දෙයක් නැහැ ඉතින් හැමදාම හවසට වැනි වැනී එන උන්දැ
නෝනා මහත්තයත් එක්ක පුපුරන එක...ඇයි ඉතින් අවුරුද්ද පටන් ගත්තේ ගින්දරත් එක්ක ගණුදෙනු
කරලනේ.”
“ඇත්තටම සියේ ඉස්සරත් මිනිස්සු මෙහෙමද?”
“අනේ ඒ කාලේ අයෙත් එනවනම් පුතේ. ඒ කාලේ මිනිස්සු මෙහෙම
නැහැ. පැළයක් දෙකක් ඉඳලා සොබාදහම් මාතාව එක්ක ගනුදෙනු කරලයි අවුරුද්ද පටන් ගන්නේ. ඉතින්
ඒ මිනිස්සුන්ට වරදීවිද? බෝග වගාවක ඉන්න දළබුවෙක් පණුවෙක් දැක්කත් ඌව ගෙනත් මේ කැලේට
දානවා. අවුරුදු කාලෙට ඒ මිනිස්සු ඊටත් වඩා හොඳයි. සතා සීපාවා විතරක් නෙමෙයි ගහ කොළ
වෙච්චි අපටත් ගරුබුහුමන් කරනවා . අපි හැමෝගෙන අශිර්වාදේ ඒ මිනිස්සුන්ට ලැබුනා.
ඉතින් ඒ මිනිස්සුන්ට අවුරුද්දෙම ලෙඩක් දුකක් හැදුනෙම නැති තරම්. බව බෝග නිතරම සශ්‍රීකව
තිබුණා. අහම්බෙන් ගංකරෙන් ඇහුනේ උණ වෙඩිල්ලක සද්දයක් විතරයි. එකත් සොබා දහමත් එක්ක
ගලාගෙන ගියා මිසක් දැන් වගේ මහා පොළොව හෙල්ලුම් කෑවේ නැහැ.”
“අනේ අයියේ දැනුත් එහෙම තිබ්බනම් !”
“ මොනවා කරන්නද මල්ලී දැන් කාලේ මිනිස්සු හරිම මෝඩයි. මට
ඇහුණා වෙද මුත්තා කියනවා පිළිකා වගේ ලෙඩ දැන් මිනිස්සු ගොඩක් දෙනෙකුට හැදෙනවා
කියල. අහන්න දෙයක් නැහැ මේ පුච්චන වෙඩි බෙහෙත්, මල් වෙඩි ටිකම ඇති නේ පිළිකා
ගණනාවකට වග කියන්න.”
“ මේ සැරේ සංචාරයේ ආපු ගොඩක් කුරුළු යාලුවෝ කිව්වේ මෙහෙ
විතරක් නෙමෙයි ලෝකේ වටේ ම තත්වේ එහෙමයි කියලා.”
“ඔව් පුතේ! එත් කියන්න ආඩම්බරයි ඉස්සර නම් ලෝකේ කොහොම
වුනත් අපේ රටේ නම් ඔය මෝඩ වැඩ මොනවත් තිබුනේ නැහැ. සංචාරයේ ආපු බොහෝ දෙන මෙහෙ දාල
ගියේ හරිම දුකෙන්. ඒ කාලේ මුළු ලෝකෙම සත්තු, ගහකොළ මේ පාරාදීසේ ගැන විස්තර අහන බව
ඒ සංචාරකයෝ කියනවා. දැන් ඉතින් මෙහෙ මිනිස්සුත් අනිත් රටවල් වගේ පහත් තත්වෙට වැටිලා..”
“කොහොම හිටපු ජාතියක් ද මේ මෝඩ විදිහට විනාශ වෙන්න
යන්නේ.....!”